හරීන්ගෙන් තිලංගට යෝකර් පන්දුවක්..!

0
672
- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව බොහෝ කාලයක සිට දූෂණ චෝදනා එල්ල වී තිබේ. පැමිණෙන සෑම ක්‍රීඩා අමාත්‍යවරයෙක් ම ශ්‍රී ලංකා ක්‍රිකට් සුද්ධ කිරීමට පොරොන්දු වුවද, කිසිවෙකු ඊට සමත් වූවේ නැත.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය – විනිවිද භාවයකින් යුතු තැනක් බවට පත් කිරීමට උත්සාහ කරමින් සිටී. අමාත්‍යවරයාගේ ඒ උත්සාහය සාර්ථක වේ ද නොවේ ද කියා කල්තියා කිව නොහැකි වුවත්, මේතාක් දුරට, අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ගෙන තිබෙන පියවර ප්‍රශංසනීය බව කිව හැකි ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා චන්දික හතුරු සිංහ මහතා කැදවා ඇත්තේ මාසිකව ඩොලර් හතලිස් දහසක් තරං ඉහළ මිලකට බව වාර්තා විය. ඒ මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් විට ලක්ෂ 71 කට ආසන්න මුදලකි. මේ තරම් ඉහළ මාසික වැටුපකට චන්දික හතුරුසිංහ මහතා බදවා ගත්තද, ඔහු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර විධිමත් ගිවිසුමක් අත්සන් තබා නැති බව වාර්තා වේ. අඩුම තරමේ මෙම සේවා ගිවිසුම ශ්‍රී ලංකා ක්‍රිකට් නීති අංශයේ අනුමැතිය සඳහාවත් යොමු කර නැති බවයි පැවසෙන්නේ. ඒ අනුව, මෙම ගිවිසුම තිලංග සුමතිපාල මහතා සහ හතුරුසිංහ මහතා අතර ඇති වූ, ඔවුන් දෙදෙනා පමණක්ම දන්නා සැගවුණු කොන්දේසිද තිබිය හැකි ආකාරයේ ගුප්ත ගිවිසුමකි. කෙසේ වෙතත්, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් චන්දික හතුරුසිංහ මහතා ඉවත් කර තිබේ. අමාත්‍යවරයාගේ එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ක්‍රියාත්මක කර තිබේ.

ෂම්මි සිල්වා යනු තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සඳහා තරගවැදීමට නොහැකි නිසා, ඔහු වෙනුවෙන් පත් වූ ඔහුගේම හිතවතෙකු බව කවුරුත් දනී. කෙසේ වෙතත්. මේ වන විට, ෂම්මි සිල්වා මහතාද තිලංගට එරෙහිව යමින්, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට සහාය ලබා දීමට තීරණය කර ඇති බව පෙනී යයි. තමන්ගේ රාජකාරිය හරි හැටි කරගෙන යෑමට තිලංග සුමතිපාල ඉඩ නොදෙන්නේ නම්, තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ද ෂම්මි සිල්වා පවසා තිබේ.

මේ අතර, 2016 සිට 2019 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදු වූ මූල්‍ය ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විගණන දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමට අනුව, විගණන දෙපාර්තමේන්තුව විසින් පිටු 1200 කින් යුත් මූලික වාර්තාවක් අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දී තිබේ. මෙම විගණන වාර්තාවෙන් ක්‍රිකට් ආයතනය තුළ සිද්ධ වී තිබෙන අපැහැදිලි ගණු දෙන කීපයක් හදුනාගෙන ඇති අතර එම ගනුදෙනු පහත දැක් වේ.

ඇමරිකානු ඩොලර් දස ලක්ෂ 5.5 ක මුදලක් විදෙස් ගිණුමකට යැවීමට තැත් කිරීම,

ඩොලර් එක් ලක්ෂ අසූ හත් දහසක මුදලක් තවත් විදෙස් ගිණුමකට බැර කිරීම,

ක්‍රීඩා විශ්ව විද්‍යාලයකට කියා හාමුදුරු නමකට ලක්ෂ 500 ක් ගෙවීම,

නිදහස් කුසලානයට අතරමැදි සමාගමකට කරන ලද අයථා ගෙවීම්,

ක්‍රිකට් ඒඩ් නමින් පවත්වාගෙන ගිය අයථා ගිණුම,

හතුරුසිංහ සමග අත්සන් කරන ලද සැකකටයුතු ගිවිසුම,

බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයට ගෙවන ලද අයථා ගෙවීම්, අයථා පත්වීම් හා වැටුප් ගෙවීම්.

ක්‍රීඩා පනතට අනුව යම් ක්‍රීඩා සංගමයක් මූල්‍ය වංචාවක් සිදු කර ඇති බව සාක්ෂි සහිතව ඔප්පු වුවහොත්, අදාල සංගමයේ සියළුම විධායක නිළධාරීන්ට එරෙහිව තහනමක් පවා පැනවිය හැකි ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් – තිලංග සුමතිපාලගෙන් සහ අනෙකුත් මාෆියාවන්ගෙන් බේරා ගැනීම සඳහා මෙතෙක් කරගෙන ආ සටන දිගටම ඇදගෙන යෑමේ අභියෝගය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරියේ පවතී.

ස්තුතිය : ලංකා ඊ නිවුස්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුවෙන් කරන ලද විගණන වාර්තාව අලලා නිවුස් ෆස්ට් පළ කළ විශේෂ ප්‍රවෘත්ති විශේෂාංගය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − nineteen =