සිංහරාජයන් පැන්නූ පළගැටි විශේෂයකට
ඉන්දියානු විද්‍යාඥයෙකුගේ නමක් තියලා.
පරිසරවේදී ජගත් ගුණවර්ධන
අරුණ පුවත්පතින් උපුටා ගන්නා ලදී.
•සාලිය කුමාර ගුණසේකර
සිංහරාජයෙන් සොයාගත් නව පළඟැටි විශේෂයක් වනජීවී හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පිටරටට රැගෙන ගොස් විදෙස් පර්යේෂක කණ්ඩායමක් විසින් ඉන්දියාවේ විද්‍යාඥයෙකුගේ නමින් නම්කර මෙරට ජෛව සම්පත් මංකොල්ලයක් සිදුකර ඇතැයි පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.
තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය විසින් පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඊයේ (26 වැනිදා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
සිංහරාජයෙන් සොයාගත් නව පළඟැටි විශේෂයක් ඉන්දියාවේ විද්‍යාඥයෙකුගේ නමින් නම්කර ඇති බව ඉන්දියානු මාධ්‍ය අගෝස්තු මස 05 සහ 06 වැනිදා වාර්තාකර තිබිණි.
මෙම නව පළඟැටි විශේෂය ක්‍රොඒෂියානු ජාතිකයෙකු විසින් ස්ලෝවැකියානු ජාතික කණ්ඩායමකට ලබාදී ඇති බව අනාවරණය වේ. මෙරට පරිසර පද්ධතියකින් යම් නියැදියක් ලබා ගන්නේ නම් වනජීවී හෝ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතුය. නමුත්,මෙම නව පළඟැටි විශේෂය වියළි නියැදියක් ලෙස විදෙස් ගතකර ඇති බවත්, අදාළ පර්යේෂණ පත්‍රිකාවේ ශ්‍රී ලාංකිකයෙකුගේ නමක්වත් සඳහන් නොමැති බව පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන කීවේය.
මෙම සත්ත්ව නියැදිය ඇතැම්විට මෙරට පර්යේෂකයෙකු විසින් හොර රහසේ පිටරටට රැගෙන යන්නට ඇතැයි පරිසරවේදීන් සැකපළ කරති. එලෙස රැගෙන ගිය සත්ත්ව නියැදිය විදෙස් පර්යේෂක කණ්ඩායමට අලෙවි කරන්නට ඇතැයිද පරිසරවේදීහු පවසති.