ෂාෆිට ඇප..!

0
1947
- Advertisement -

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයට අනුයුක්තව රාජකාරී කරන, වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්, මැයි මාසයේ 25 වන දා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත්තේ ය.

ෂාෆී වෛද්‍යවරයා ඉලක්ක කර ගනිමින්, දිවයින පුවත්පත පළ කර තිබූ ප‍්‍රවෘත්තියක සඳහන් වී තිබුණෙ, අදාල වෛද්‍යවරයා, සිසේරියන් සැත්කැම් සිදුකරන අතර තුරේ දී, සිංහල බෞද්ධ මව්වරුන්ට එරෙහිව වදසැත්කම් සිදු කරන ලද බව යි. ඊට අමතරව, ෂාෆී වෛද්‍යවරයා තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධ බවටද අදාල පුවත්පත චෝදනා කර තිබුණි. දිවයින පුවත්පතේ පළ වූ අදාල ප‍්‍රවෘත්තියත් සමඟ වෛද්‍යවරයාට එරෙහිව විශාල ජනමතයක් නිර්මාණය විය.

වෛද්‍යවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා අසත්‍ය බවත්, මෙම චෝදනා වෛද්‍යවරයාට එරෙහිව එල්ල කිරීමට හේතුව, කිසියම් පිරිසක් වෛද්‍යවරයා සමඟ ඇතිකරගෙන තිබුණු පෞද්ගලික වෛරයක් බවත්, වෛද්‍ය ෂාෆී වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පවසා සිටියේ ය.

චෛද්‍යවරයාට එරෙහිව එල්ල වී තිබුණු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ෂාෆී වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමට තරම් සාධාරණ හේතුවක් නැති බව ජූනි මාසයේ 29 වන දා අධිකරණයට වාර්තා කළේ ය.

ඒ අනුව, ෂාෆී වෛද්‍යවරයා රඳවා තබා ගැනීමේ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කර ගත්තේ ය.

එදින වෛද්‍යවරයාට ඇප ලැබේ යැයි බොහෝ දෙනා සිතුවද, වෛද්‍යවරයාට ඇප ලබා දුනහොත් කළබල ඇතිවිය හැකි බව පවසමින් අධිකරණය තව දුරටත් ඔහු රිමාන්ඞ් බන්ධනාගාරගත කළේ ය.

අද සන්ධ්‍යාවේ දී නැවත ෂාෆී වෛද්‍යවරයාට එරෙහි නඩුව කැදවූ කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය, ෂාෆී වෛද්‍යවරයාට ඇප ලබා දීමට තීරණය කළේ ය.

ඒ අනුව, හරියටම මාස දෙකක් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි වෛද්‍ය ෂාෆීට අද දිනයේ ඇප ලැබුණේ ය.