ශ‍්‍රීලනිපයේ පිරිස් අලූ ගසා දමා අවදිවෙයි පී. බී. ජයසුන්දරට නැවතත් ප‍්‍රහාරයක්

0
178
- Advertisement -

මෙම ආණ්ඩුවේ පාලන කාලය ආරම්භ වනවිට තමුන්ට ඇති බලය පිළිබඳව දැඩි අධිතක්සේරුවක සිටිමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු හවුල්කාර පක්ෂද දෙවැනි පෙළ සැළකුම් ලබාදුන් යුගය නිමා කරමින් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවේ යාන්ත‍්‍රණයට පසුගිය දා බරපතල ප‍්‍රහාරයක් එල්ල කළේය.

ඒ රාජපක්ෂවරුන්ගේ පි‍්‍රයතම නිලධාරියෙක් වූ පී. බී. ජයසුන්දර මහතාට දැඩි ලෙස විවේචනය කරමිනි. දයාසිරි ජයසේකර මහතා එහිදී මාධ්‍ය හමුවේ පවසා තිබුනේ රටේ පවතින තත්ත්වයන් රැසකට ජයසුන්දර මහතාගේ තීරණ හේතු වූ බවයි.

එබැවින් නිවැරදිව තමුන්ගේ කාර්යය කළ නොහැකි නම් ඔහු ඇතුළු වගකිව යුතු නිලධාරින් ඉවත්ව ගෙදර යාම වඩා යහපත් බව මෙහිදී දයාසිරි ජයසේකර මහතා ඍජුවම පැවසීය.
පී.බී. ජයසුන්දර මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ සිටම ආණ්ඩුවේ මෙහෙයුම් යාන්ත‍්‍රණය මෙයෙවන දැවැන්ත චරිතයක් විය.

එහෙත් එක්තරා අවස්ථාවකදී ඔහුව රජයේ සේවයට නොසුදුසු පුද්ගලයෙක් සේ සළකා ඉන් ඉවත් කළ යුතු බවට අධිකරණය විසින්ද නිර්දේශ කරන ලදී.

එහෙත් එම අධිකරණ නිර්දේශයන් නොතකා නැවත ජයසුන්දර මහතාව නිලධාරී යාන්ත‍්‍රණයේ සුක්කානම මෙහෙයවන අන්දමේ බරපතල තැනකට ගෙන එන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන දමයේදීය. ස්වභාවයෙන්ම බෙහෙවින් උඩඟු, දැඩි අදහස් ඇති පුද්ගලයෙක් වශයෙන් ප‍්‍රකට ජයසුන්දර මහතා අණ්ඩු පක්ෂයේම බහුතරයක් දේශපාලඥයන් හා නිලධාරින් අතරේ ජනපි‍්‍රය චරිතයක් නොවේ.

වරක් විමල් වීරවංශ මහතා ඔහු හැඳින්වූයේ ‘‘ආර්ථික ඝාතකයෙක්‘‘ වශයෙනි. ර් ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කි‍්‍රයාකරමින් සිටියදීය. එසේ වුවද ජයසුන්දර මහතා වාඩි වී සිටි පුටුව සෙලවීමට වීරවංශ මහතාට නොහැකි විය.

මෙවර නැවතත් ගෝඨභය රාජපක්ෂ මහතා බලයට පැමිණෙන විට බහුතරයක් ජනතාව විශ්වාස කළේ ඔහුගේ සහයෝගය වෙනුවෙන් නවක හා නව අතහස් සහිත පිරිසකගේ සහයෝගය ලබාගන්නට ඔහු කටයුතු කරන බවයි.

විශේෂයෙන්ම ඔහු වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කළ ‘‘වියත් මග’’ වැනි බුද්ධිමතුන්ගෙන් සැදි සංවිධානවලට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානයක් යොමු වනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්‍ෂා කළහ. එසේ වුවද ජනාධිපති ලේකම්වරයා වශයෙන් ඔහු විසින් පී.බී. ජයසුන්දර මහතා පත් කරගනු ලැබුවේ ඔහු රාජපක්ෂවරුන්ගේ පි‍්‍රයතම නිලධාරියෙක් බව ආණ්ඩුවේම හිතවතුන්ට නැවතත් ඒත්තු ගන්වමිනි.

පී. බී. ජයසුන්දර මහතා පසුගිය කෙටි වකවානුව තුළ නොයෙක් අන්දමේ ආන්දෝලනාත්මක මාතෘකා කිහිපයකටම බඳුන් විය. ඒ අතරින් වරාය නගරයේ ආයෝජකයන් විසින් ලබාදෙන ප‍්‍රතිපාදන චීනයට ලබාගැනීමට අදාළ සමාගම උත්සහ කරන විට ඔහුගේ භූමිකාව තුළ මැනවින් දැකිය හැකිය. එහිදී වරාය නගරය පිිළිබඳ ප‍්‍රධාන නිලධාරියෙක් වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ ගාමිනී මාරපන මහතා චීන දමාගමට අදාළ ආයෝජන ලබාදීම ප‍්‍රතික්‍ෂේප කළේ එය ගිවිසුමට පටහැනි බව පෙන්වා දෙමිනි.

නමුත් පී. බී. ජයසුන්දර මහතා මේ සම්බන්ධයෙන් මැදිහත්කරුවෙක් වශයෙන් කටයුතු කරන්නට තැත් කළේය. එවිට මාරපන මහතා පෙන්වා දුන්නේ ජනාධිපති ලේකම්වරයාට වරාය නගරයේ කටයුතු සම්බන්ධයන් මැදිහතිවීමට නෛතික බලයක් නොමැති බවයි. ඔහු එසේ ප‍්‍රකාශ කර වරාය නගරයේ පරිපාලනය සම්බන්ධයෙන් ඔහු දරමින් සිටි තනතුරින් පවා ඉවත් වූයේ ජයසුන්දර මහතාගේ මැදිහත්වීමට විරෝධය දැක්වීමක් ලෙසිනි.

මෙවන් තත්ත්වයක් මත ජයසුන්දර මහතා තමාගේ තනතුර හැර යාමට සූදානමක් ගැනද පසුගිය කෙටි කාලය තුළ කතා බහට ලක් වූ කරුණකි. දීර්ඝ කාලයක් පුරා ආණ්ඩුවේ තීරණාත්මක මෙන්ම බලවත් තනතුරු හෙබවූ ජයසුන්දර මහතා මේ වනවිට බෙහෙවින් පරිනත වයස් සීමාවක පසුවන්නෙකි.

එසේම ආණ්ඩුවේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් එළිපිටම කතා කරන ආණ්ඩුවේම දේශපාලඥයන් පෙන්වා දෙන්නේ ජයසුන්දර මහතා සුපිරි දක්ෂයෙක් නම් රටේ තත්ත්වය මෙලෙස පහත තලයකට පැමිණිය නොහැකි බවයි. දයාසිරි ජයසේකර මහතා විසින්ද සිය මාධ්‍ය ප‍්‍රකාශය මගින් පෙන්වා දුන්නේද එම අදහසමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =