වෙරි වූ මීයෝ සහ අළුත් ආණ්ඩුව.

0
1166
- Advertisement -
Share

ගමේ ගොඩේ මිනිසුන් අනුන්ගේ රබර් වත්තකට වැදී අරක්කු බෝතලයක් කඩාගෙන පොල්කටුවට දමා බොන අතීතයක් මේ ලියුම්කරු දැක තිබේ. ඔවුන් පළමු අරක්කු වඩිය සන්තර්පනය වූ පසුව හැසිරෙන්නේ සිංහයන් මෙනි. තමුන්ගේ හැකියාව – කුසලතාවය පමණක් නොව කළ හැකි – නොහැකි දේ ගැන පාරම් බාන්නේ එවිටය. මුළු ලෝකයම ඔවුන්ගේය. ඔවුන්ට කළ නොහැකි දෙයක් නැත.

මේ පූර්විකාව ලියුම්කරු සඳහන් කරන්නේ 2019 ජනාධිපතිවරණයෙන් පසුව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමත් සමග සිංහල ජන සමාජයේ අධ්‍යාත්මය සාඩම්බරකාරී ආකාරයට පිබිදෙමින් පවතින ආකාරය දෙස බැලීමෙනි. රුවන්වැලි මහා සෑය අබියස දිවුරුම් දීමේ සිට ගරු ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතනවල තම ඡුායාරූප එල්ලීම වළක්වාලීම, වාහන හා කාර්ය මණ්ඩලය විශ්මය ලෙස අවම කිරීම ආදිය පමණක් නොව, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ලූතිනන් ජනරාල් කමල් ගුණරත්න පත්කිරීම හා උතුරු නැගෙනහිර අග‍්‍රාණ්ඩුකාරවරයා ලෙස මුත්තයියා මුරලිදරන් පත් කිරීම දක්වාම සාමාන්‍ය ජන සමාජයේ සුවිශාල පිබිදීමක් දක්නට ලැබේ. පිලිගැනීමේ උත්සව, බෝධිපූජා, කිරිබත් දන්සැල් ආදියෙන් පමණක් නොව, මුහුණු පොතේ හා සමාජ වෙබ් අඩවිවල පළවෙන අදහස් වලදීද මෙය මැනවින් දැකිය හැකිය. නමුත් මෙවැනිම සිංහල සමාජය ආහ්ලාදයට ලක් කළ යුගයක් ලංකා ඉතිහාසයේ තිබුන බව බොහෝ දෙනා නොදනිති.

1956 වසරේ එස්. ඩබ්. බණ්ඩාරනායක මහතා අසීමාන්තික බලයක් අත්පත් කරගනිිමින් මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බිහි කළ අවස්ථාවද මේ ආකාරයෙන්ම සාමාන්‍ය ජනතාව ප‍්‍රීතිය පළ කළහ. අඩු වැඩි වශයෙන් වෙනස්කම් තිබුනද එහිදිද ජනතාව හැසිරුනේ තමන්ගේ සිතැඟි ඉටු කරන්නට තමුන්ගේ අගමැතිවරයා බැඳී සිටි බවට විශ්වාස කරමිනි. එහිදි සිදු වූ බොහෝ දේ අතුරින් වඩාත් නාටකේය හා උත්ප‍්‍රාසය දනවන සිදුවීම් වූයේ විසි හතර පැයෙන් සිංහල රාජ්‍ය භාෂාව කිරීමට එෆ්. ආර්. ජයසූරිය මහතා කළ මාරාන්තික උපවාසය, සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් ඔහු පාර්ලිමේන්තුවේදි ආණ්ඩු පක්ෂයේ මන්ති‍්‍ර කණ්ඩායම ඇමතීම, සාමාන්‍ය ජනතාව ජනතා ආණ්ඩුවේ බලයෙන් මුසපත්ව පාර්ලිමේන්තුවට කඩා වැදීම හා ඇතැමුන් කතානායක අසුනේ වාඩිවෙමින් එහි සුවදායි අත්දැකීම විඳගැනීම ආදිය වෙයි.

නමුත් එයින් සිදු වූ ඓතිහාසික වැරදි දශක හයකට වැඩි කාලයකදී ඔඩු දුවන තුවාලයක් බවට පත් වෙතැයි එදා කිසිවෙක් නොසිතූහ. එසේ වූයේ ඔවුන් තමන්ගේම යැයි විශ්වාස කළ ආණ්ඩුවේ බලයෙන් මත් වී සිටි නිසාය. බලය අතට ගැනීමට, ආණ්ඩුවට උපදෙස් දීමට තමුන්ට අයිතියක් ඇතැයි විශ්වාස කළ නිසාය, ඒ බලය අතට ගැනීම යුක්ති සහගතයැයි කල්පනා කළ නිසාය, අග‍්‍රාමාත්‍යවරයාගේ කැඩිලැක් වර්ගයේ නිල රථයේ රියේ පසුපස පැදවීම වමෙන් යනුවෙන් ත්‍රෛයි භාෂාවෙන් සඳහන් කළ තීරුවේ පවා සිංහල යෙදුම පමණක් ඉතිරි කර දෙමළ යෙදුම තාර ගා මකා දමන්නට තමුන්ට හයිකාරකමක් ඇතැයි විශ්වාස කළ නිසාය,’ෟෟෟ ඒ බලය පිලිබඳ මත් වඩියේ පළමු වටයයි. [හෙවත් හික් මීයෙක් වුව සිංහ සෙය්‍යාව අවදි කරවන මොහොතයි] අද ඒ මොහොත උදා වී ඇති බව පෙන්නුම් වන්නේ සාමාන්‍ය ජනතාව මුහුණු පොතේ පළකරන අදහස් වලින්, රාජ්‍ය පාලනයට උපදෙස් දෙමින් අන්තර් ජාලයට මුදා හැරෙන ගීත හා වැඩසටහන් මගින්, පුවත් පත් හා මුද්‍රිත මාධ්‍යයෙන් මෙන්ම ඉලෙක්්ට්‍රොනික මාධ්‍යය ප‍්‍රකට කරවන වැඩසටහන් ආදිය විමසා බැලීමේදීය.

විශේෂයෙන්ම නැවතත් සිංහල ජාතියේ දේශමාමකත්වය සාධාරණිකරණය වෙමින් සමාජයේ එඩරු දළු මෙන් දළුලමින් තිබේ. පසුගිය දින කිහිපයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ජන මාධ්‍යය විසින් තමුන්ගේ ප‍්‍රවෘත්ති විකාශයන් සංස්කරණය කළ ආකාරය විමසා බැලීමේදී මෙය මැනවින් දැකිය හැකිය. නව ජනාධිපතිවරයා ගන්නා පියවර වාර්තාකරණයට අමතරව ඒවා සාධාරණිකරණය කරන්නට, පසුගිය සිදුවීම් හා සන්සන්දනය කරන්නට මෙන්ම, එය මහජන මතය ලෙස ඒත්තු ගැන්වීමටද ඔවුන් උත්සුක වූහ. නව ජනාධිපතිවරයා මෙන්ම නව රජය ඔසවා තැබීමට කටයුතු කරන අතරම, පරාජිත පිළ නිර්දය ලෙස දැඩිව විවේචනය කිරීමේ ශෛලියක් ඔවුන් කෙරෙන් ප‍්‍රකට විය. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා විවිධ කණ්ඩායම්, සමාජ ඒකරාශි බලවේග වශයෙන් ගෙනැවිත් එකම අදහස විවිධ කෝණවලින් සමාජ ගත කරන්නට ඔවුන් උත්සුක වූහ. එය අඛණ්ඩ කි‍්‍රයාවලියක් මෙන් සිදුවෙමින් පවතී. එය ස්වභාවික තත්ත්වයක් වුවද භයානක තත්ත්වයක් නිර්මාණය කිරීමටද හේතු පාදක විය හැකි බැව් ඉතිහාසය මගින් පෙන්වා දිය හැකිය. නිදසුනක් වශයෙන් 56 පෙරළිය මාර්ටින් වික‍්‍රමසිංහ මහතා හැඳින්වූයේ බමුණු කුළයේ බිඳවැටීම නම් වූ මහානුභාවසම්පන්න යෙදුමෙනි. එය ඔහුගේ වරදක් නොවේ. ඔහු විශ්වාස කළ හා ඔහු අපේක්ෂා කළ සත්‍යය එය වූ නිසාය. ඒ අනුව සිංහල සමාජයේ අධ්‍යාත්මය උද්දීපනය කරන පියවර කිහිපයක්ම ගැනිණි. එතැන් පටන් බිහි වූ සිංහල පමණක් උගත් පරපුර බණ්ඩාරනායක දරුවෝ ලෙස සමාජ ගත වූහ. ( 71 කැරැල්ලට මුල් වූයේද මෙම බණ්ඩාරනායක දරුවන් බව අමතක කළ නොහේ )

නමුත් 1958 වනවිට මේ රට ජාතිවාදී යුද්ධයකින්, වැඩ වර්ජන 156කට වැඩි සංඛ්‍යාවකින් හා අරාජික තත්ත්වයක් මත පරිපාලනය මුළුමනින්ම බැඳ වැටෙන තත්ත්වයකින් විපරිත විය. ජාතිවාදී මුහුණුවරක් දෙමින් මංකොල්ලකරුවන් පෞද්ගලිික දේපළ කොල්ලකද්දී පොලිසිය ඔවුන් පසුපස එළවා ගිය ආකාරයත්, කොල්ලකරුවෝ වහා පාලූ නිවෙස් තුලට වැදුන ආකාරයත්, ඉන් මොහොතකට පසුව කිසිවෙක් නොමැති එම පාලූ නිවෙස් තුළින් සිවුරු පොරවා ගත් භික්ෂූන් වහන්සේලා සුපේක්ෂල අයුරින් ඒවායෙන් පිටව යනු පොලිසිය තුෂ්නිම්භූතව බලාගෙන සිටි ආකාරයත් 58 හදිසි අවස්ථාව විවරණයේ ටාසි විට්ටච්චි වාර්තා කරයි.

එතැනින් එහා පොලිසිය අසරණය. ඔවුන්ට සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගත නොහැකිය. මන්ද පවතින සිංහල බෞද්ධ රජයෙන් එයට අවසරයක් නැති බැවිනි. එසේම දාමරික චරිතයක් ලෙස පොලිස් පොතේ නම ලියැවුන ටැක්සි රියැදුරෙක් අල්ලා පරීක්ෂා කරන විට ඔහුගේ කාරයේ ඩිකියේ තිබී සිවුරු කිහිපයක් පොලිසියට සොයාගන්නට හැකිව තිබේ.

අද තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් වුවද පෞද්ගලික ජනමතය රාජ්‍ය පාලනයක් විසින් ගන්නා තීන්දු තීරණ අතික‍්‍රමණය කිරීමෙන් එවන් තත්ත්වයක් හෝ ඊට වඩා භයානක තත්ත්වයක් වෙනස් මුහුණුවරකින් පැමිණිය විය හැකිය. මේ තත්ත්වයට පසුගිය රජයට කිසියම් මට්ටමකට වග කිවයුතු බැව් ලියුම්කරුගේ පෞද්ගලික හැඟීමයි. 2015 පත් වූ යහපාලන රජයේ මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා රුපියල් දහයේ atlas පෑනකින් රටක් බාරගන්නා ගිවිසුමට අත්සන් තබන විට බොහෝ දෙනෙක් සිතුවේ රටේ තත්ත්වය ගව් ගණනක් ඉදිරියට යනු ඇති බවය. එසේම යහ පාලන රජය ගත් මුල් පියවර ආශ්වාදජනක විය. ස්වාධින කොමිෂන් බලගැන්වීම එහි දැවැන්ත පියවරකි. නමුත් ක‍්‍රමයෙන් ඔවුන් පමණ ඉක්මවා මධ්‍යස්ථ භාවය බිඳිමින් සිංහල අධ්‍යාත්මයේ කොඳු නාරටියට බලපෑම් එල්ල කළහ. විල්පත්තුව වන සංහාරය, මඩකලපුවේ පෞද්ගලික ෂරියා විශ්ව විද්‍යාලය, මාවනැල්ලේ බුදු පිලිම කැඞීම, කුරගල සිදුවීම්, මුහුදු මහා විහාරය ආක‍්‍රමණය කිරීම් ආදියේදි ආණ්ඩුවේ මැදිහත්වීම අවම වූ අතර, එකී සිදුවීම් පිලිබඳ නිසි පරීක්ෂණයක් හෝ නොපවත්වා වගකිවයුත්තන් ආරක්ෂා කරන තලයකට රජය කටයුතු කරන්නේය යන අදහස සිංහල සමාජය තුළ රෝපණය කරන ආකාරයෙන් ඔවුන් හැසිරුනහ.

විල්පත්තු වන සංහාරයේදි රාජිත සේනාරත්න මහතා මාධ්‍ය සාකච්ඡුාවලදි කරුණු දැක්වූයේ වගකීම් සහිත අමාත්‍යවරයෙක් වශයෙන් නොව, බලය අතට ගත් චණ්ඩියෙක් මෙනි. මේ හැරෙන්නට ඇතැම් පන්සල්වල පිංකැටවලට සීල් තැබීම, භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගැනීම ආදියද සිදු වූ අතර, ඒවාට ප‍්‍රමාණවත් වූ හේතු සාධක සමාජය ඉදිරියේ ගෙනහැර දැක්වීමට ආණ්ඩුව අපොහොසත් විය. මේ තත්ත්වය සාමාන්‍ය ජනතාවගේ සිත් රිදවීමට සමත් වූ අතර, බුදු දහම හා සිංහල ජාතිය පිලිබඳ අනියත භිතියක්, අසරණකමක් සමාජයේ මෝරන විට එය තේරුම් ගන්නට රජය උත්සහ නොගත්තේය. නැතහොත් අපොහොසත් විය. එයට කදිම නිදසුන වූයේ කතෝලික පල්ලිවලට එල්ල වූ ප‍්‍රහාරයයි. එහිදී ප‍්‍රති ප‍්‍රහාර දෙන්නට සිංහල ජන සමාජය කටයුතු නොකළ අතර ඔවුන්ගෙන් බහුතරයක් අනුගමනය කරන ලද්දේ සාමාන්‍ය මුස්ලිම් වැසියන් හා ඔවුන්ගේ සම්ප‍්‍රදායික සිරිත් විරිත්, චාරිත‍්‍ර පිලිකෙව් කරන ප‍්‍රතිපත්තියකි. ඔවුන් මුස්ලිම් වෙළඳසැල් වර්ජනය කරමින් නිහඩ සටනක් අරඹන විටදිද එහි අනිටු ඵල ගැන රජය අවධානය යොමු නොකළේය.

හමුදා පාලනයක් අවැසි බවට අදහස් පළකරමින් හා එවකට හමුදාපති මහේෂ් සේනානායකට ඇරයුම් කරමින් අන්තර් ජාලය හරහා දැවැන්ත මතයක් සමාජ ගත වූයේ ඒ සමගිනි. මේ වනවිට විපක්ෂයේ සිටි බොහෝ දෙනෙක් මෙම ජන හදගැස්මේ රිද්මය ඇසිල්ලකින් හඳුනාගනිමින් එයට අනුව තම දේශපාලන රංගනය දියත් කළහ. එහි ප‍්‍රතිඵලය වශයෙන් 2015 වසරේදි ජනතාව අතරින් ප‍්‍රතික්ෂේප වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වන්නට හේතු වූවායැයි සැලකෙන මහජන නියෝජිතයන් කී දෙනෙක් අද මේ මොහොත වන විට සිංහ කොඩියේ සෙවන හා සරණ ලබමින් නැවත බලයට ඉව අල්ලන කෑදරයන් බවට පත්ව ඇත්දැයි විමසා බැලීම වැදගත්ය. නිදසුනක් වශයෙන් 2015 මහා මැතිවරණයේදි චන්දදායකයාගෙන් ප‍්‍රතික්ෂේප වුවද ජාතික ලයිස්තු අනුහසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයක් ලැබූ එස්. බී. දිසානායක මහතා මෑතක පැවති මාධ්‍ය හමුවකදි සිනාසෙමින් වහසි බස් දෙඩුවේ 17 වැනිදා සිට අපි නැවතත් කැබිනට් අමාත්‍යවරුන්යැයි පවසමිනි.

මහින්ද රාජපක්ෂ රජය අසීරුවට අපහසුතාවයට හා පරාජයට පත් කිරීමට මූලික වූ මහජන නියෝජිතයෝ කී දෙනෙක් එලෙසින් අද වනවිට නව ආණ්ඩුවේ ඉදිරිපෙළ වීරයාගේ භූමිකාවට ආරූඩ වූ නළුවන් බවට පත්වී සිටින්නේද යන්න විමසා බැලීම වැදගත්ය. මත් වඩියේ දෙවැනි වටය ඇරඹෙන්නේ මෙතැන් සිට මහා මැතිවරණය දක්වාය. එය බොහෝ විට අපේ‍්‍රල් මස අග හෝ මැයි මස මුල භාගයේ පැවැත්වෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එය ඉලක්ක කරගනිමින් මේ කෙටි කාල සීමාව සංක‍්‍රාන්ති කාලයක් සේ සලකා ඉතාම තීරණාත්මකව ගත කරන්නට නව ආණ්ඩුවට සිදුවනු ඇත. උපක‍්‍රමශීලි ආකාරයෙන් උපරිම මාස හයක කාලයක් සිල් සමාදන් වීමට නව ආණ්ඩුවට හැකි වූවද එයින් අදහස් වන්නේ ඔවුන් හමුවේ ඇති අභියෝග පහව යන බව නොවේ. එම අභියෝග තීව‍්‍ර වන බවයි. මෙහි අවදානම ප‍්‍රමාණාත්මක වන්නේ 56 ජනතා ආණ්ඩුවේ මෙන්ම මහජනතාව තම අභිලාෂයන්, බලාපොරොත්තු වෙනුවෙන් නැගී සිටීම හා ඔවුන් අපේක්ෂා කළ අයුරින්ම ආගම ජාතිය ආරක්‍ෂා කිරීමේ මුහුණුවරින් කවර ආකාරයේ වුවද පීඩනයක් හෝ මර්දනයක් ඔවුන් වෙත නිදහස් කිරීමේ තීරණාක්මක සාධකය මතය. එය ප‍්‍රජාතාන්ති‍්‍රක රාමුව තුළ සමතුලනය කිරීමේ ස්වභාවය මත නව ආණ්ඩුවේ සාර්ථක අසාර්ථක බව හා පැවැත්ම තීරණය වනු ඇත.

අපේක්ෂා භංගත්වය මගින් වේදනාව හා කෝපය උත්පාදනය වන බවත් එම කෝපය හා වේදනාව ප‍්‍රචණ්ඩත්වයේ ගිණිසිලූව විය හැකි බවත් අවසන් වශයෙන් සටහන් කර තැබීම වැදගත්ය. මන්ද එය රබර් වත්තේ පැවති මධු සාදයේදි අවසන් භාගය වන උමතුව, කළහකාරිබව හා එකිනෙකා ඇණකොටා ගැනීමකින් කෙළවර විය හැකි නිසාය’

  • ධනුද්දර විසිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 5 =