“විසි වන සංශෝධනයේ ඇතැම් වගන්ති ජනවරමට පිටුපෑමක්..!” විමල්ගේ පක්ෂය නැවතත් අගමැතිට ලියයි.

0
244
- Advertisement -
Share
4 / 100

විසි වන සංශෝධනයේ ඇතැම් වගන්ති
ජනවරමට පිටුපෑමක්..!
විමල්ගේ පක්ෂය නැවතත් අගමැතිට ලියයි.


විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

විසිවන සංශෝධනයට ඇතුළත් විය යුතු බවට, පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රධාන යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් අඩු වැදගත්කමක් ලබා දී තිබීම පිළිබදව එම ලිපිය, අග්‍රාමාත්‍යවරයාගේ අවදානයට යොමු කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණ විසින් අග්‍රාමාත්‍යවරයා යොමු කර තිබෙන එම ලිපිය සම්පූර්ණයෙන් පහත පළ වේ.

ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා,
අගමැති කාර්යාලය,
කොළඹ 07.

ගරු අගමැතිතුමනි,

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී
ඇතුළත් කළ යුතු සංශෝධන පිළිබඳව

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළු කොට ඇති යම් ප්‍රතිපාදන පිළිබඳව අප පක්ෂයේ නායකත්වය සහ සෙසු පක්ෂ නායකයන් මෙන්ම පොදුු මහජනතාව විසින් ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳව සංවේදී වීම පිළිබඳව පළමුවෙන්ම අප පක්ෂයේ ප්‍රණාමය ඔබතුමාට පිළිගැන්විය යුතුය. ඒ අනුව ඔබතුමා විසින් පත් කරන ලද කමිටුවට අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිබඳව යම් එකඟතාවකට පැමිණීමට උත්සාහ කිරීම ද අපගේ ඇගයීමට ලක් වේ.

නමුත් නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ අප පක්ෂයේ නායකයා විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය. අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඔබතුමා වෙත ඉදිරිපත් කළ සහ නීතිපතිවරයාගේ යෝජනා තුළ අඩංගු නොවූ සංශෝධන අතුරින් ප්‍රධාන ත්‍රිත්වයක් ඉතා තීරණාත්මකව වැදගත් වේ. ඒවා පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් අපගේ ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

ඉතිහාසයට මෙන්ම ජනවරමට සාධාරණය ඉටු කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වන අපගේ දැඩි විරෝධයට ලක්ව ඇති සහ නැවත සංශෝධනය කළ යුතු හෙවත් නිවැරදි කළ යුතු ප්‍රතිපාදන ත්‍රිත්වය මෙසේ නැවත අවධාරණය කරමු.

  1. සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කොට ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් නිදහස් කිරීම.
  2. මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම.
  3. ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබ්බට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලට ද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ ලෙස අප ඔබතුමාට ඉතා ගෞරවයෙන් අවධාරණය කරනු ලබන්නේ අප ආණ්ඩුවක් ලෙස එම වැරදි නිවැරදි කළ යුතු බව ය. එය ජනවරම ආරක්ෂා කිරීම සඳහා අප විසින් ගනු ලබන දේශපාලන ස්ථාවරයකි. ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම අප විසින් බාර නොගන්නා බව ඉතා ගෞරවයෙන් සඳහන් කරමි. එහෙත් ආණ්ඩුවට සහ රටට එරෙහිව පවතින සතුරු වටලෑම පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ දේශපාලන ස්ථාවරයක් අප විසින් ගනු ලබන බව පූර්වගාමීව මෙසේ දැනුම් දෙමු.

ඔබතුමාට තෙරුවන් සරණයි!

මෙයට,
විශ්වාසී,

එස්. විජයසිරි,
ප්‍රධාන ලේකම්,
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන්
2020-10-02

පිටපත් :- සියලු ජනමාධ්‍ය ආයතන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + 5 =