“විස්ස විවාදයට නොගෙන කල් දමන්න..!” ආචාර්ය නලින්ද සිල්වා අදත් ඉල්ලයි.

0
221
- Advertisement -
Share
7 / 100

විස්ස විවාදයට නොගෙන කල් දමන්න..!
ආචාර්ය නලින්ද සිල්වා අදත් ඉල්ලයි.


ආචාර්ය නලින්ද සිල්වා මහතා, අරුණ පුවත්පත වෙනුවෙන් සති පති ලියන ලිපියකි.

මා ලියූ ලිපියක් ඇසුරෙන් සුපුරුදු පරිදි ඒ ඒ අය තමන් කැමති දේ සංස්කරණය කරගෙන. එය නවත්තන්න කිසිවකුටවත් බැහැ. ඊනියා ජාත්‍යන්තරවාදී පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට අනුව ඒ විකාරයක්. ඔවුන් කියන්නේ නැහැ එය විකාරයක් වන්නේ කෙසේ ද කියා. මා ඒ සියල්ලන්ගෙන් ඉල්ලා සිටියා ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙන ලෙස. එය එක් පුද්ගලයකුගෙන් කළ ඉල්ලීමක් නොවෙයි. ඒ ප්‍රශ්නවලට ඔවුන්ට කිසි දා උත්තර දෙන්න බැහැ.

මා උනන්දුවන්නේ ඔවුන් ගැන නොවෙයි. සියලු ආකාරයේ ජාත්‍යන්තර දැන් කැඩී අවසන්. නැති වී යන වමාලා ඇතුළු ජාත්‍යන්තරවාදීන් ගැන කරදර වන්න ඕන නැහැ. දැන් වමක් නැහැ. බටහිර දැනුම අද නන්නත්තර වෙලා. ඒ පසු පස ගිය ලෝකය අනාථ වෙලා. නූතනත්වයෙන් කඩා බිඳ දැමුණු ජාතිකත්ව ඒ ඒ රටවල තම තමන්ට ආවේණික ආකාරයෙන් නැගී සිටිනවා. එහි හැල හැප්පිලි නැතුවා නොවෙයි. අපි ඒ ගැන පසුව කතා කරමු.

අද ප්‍රධාන ප්‍රශ්නය කොවිඩ්. අපට නැවතත් කොවිඩ් පරාජය කරන්න සිදුවෙලා. එහි දී කිසිදු විපක්‍ෂ වමකු දකුණකු ආණ්ඩුවට සහාය දෙන එකක් නැහැ. සජිත්, කිරිඇල්ල, සජිත්දාස, යටත්විජිත, චම්පක, රාජිත, කෙකරගාමින් ආදීන් බලා ඉන්නේ කොවිඩ් ආණ්ඩුව පරාජය කරන තෙක්. ඒ අතර ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරු විස්ස හරහා තම පවු සෝදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙය භයානක තත්ත්වයක්. බදුයුදීන් නාට්‍යයේ පිටපත දුර්වලයි. පොලීසියත් මේ නාට්‍යයේ නළුවකු පමණයි. පොලිස් අධිකාරිවරු එහාට මෙහාට මාරු කිරීම් නොසිදුවිය යුතුයි. 1866 දී පිහිටුවී යැයි කියන මෙරට පොලීසිය විලියම් රොබට් කැම්ප්බල්ගේ සිට අද දක්වා ස්වාධීන නැහැ. ඩව්බිගින්ලා, අළුවිහාරේලා, විජේසුන්දරලා මේ කාටවත් ස්වාධීන වෙන්න පුළුවන් වුණෙත් නැහැ වෙන්නත් බැහැ.

අද කළ යුත්තේ ආණ්ඩුව ශක්තිමත් කර ගෙන කොවිඩ් දෙවන වරටත් පරදා ලෝකයෙන් එන කොවිඩ් වසංගතයට මුහුණ දෙන ක්‍රමයක් හදා ගැනීමයි. ඒ සඳහා අනවශ්‍ය භේද ඇති කර ගන්න වුවමනාවක් නැහැ. මා හිතන්නේ මතභේදයට තුඩු දී ඇති විස්ස හදිසියේ පාර්ලිමේන්තුවේ විවාද නොකර කල් දැමිය යුතුය කියා. විස්සට අද හදිසි අවශ්‍යතාවක් නැහැ. ජනාධිපති අගමැති අතර ගැටුමක් නැහැ. මේ පාර්ලිමේන්තුව වසරකින් දෙකකින් විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් ද නැහැ. ඔය ඉන්න එකසිය හතළිස් නවය හොඳට ම ඇති. මෙරට සිංහල ජනයා ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුව පත්කර ගත්තේ අන්තවාදී දේශපාලන පක්‍ෂවලින් නොමෙහෙයවන ආකාරයෙන් කටයුතු කරන්න. පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තන් තරාතිරමක් දේශපාලන වාසියක් හෝ අවාසියක් හෝ නොතකා අධිකරණයට යොමු කළ යුතුයි.

දැනට පවතින කොමිෂන් සභා සාමාජිකත්ව තව ටික කලකින් අහෝසි වෙනවා. එවිට ඒ සඳහා වෙනත් අය පත් කරන්න පුළුවන්. විස්ස ගැන අධිකරණය දීල තියෙන තීන්දුව මා හිතන්නෙ කථානායක හැරෙන්න අනෙක් සියල්ලන් ම දන්නවා. ඒ මේ රටේ වැඩ කෙරෙන විධිය. මෙරට යමක් එළි නොකර ඉන්න තියෙන ඉඩකඩ අඩුයි. කිසිම භේදයක් ඇති කර නොගෙන විස්ස කල්දාල සජිත්ල හැර ඉතිරි අය කොවිඩ් මර්දනයට එකාවන් ව මුහුණ දෙමු. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට නොකළොත් රට ම අමාරුවේ. කොවිඩ් නැවතත් පරාජය කිරීමට අපට ශක්තිමත් නායකත්වයක් හා යාන්ත්‍රණයක් තියෙනවා. අවශ්‍ය පරිදි පාරම්පරික ආයුර්වේද, සිද්ධ යුනානි, හෝමියෝපති වෙදකම් යොදා ගනිමු. බටහිර රෝහල්වල අනෙක් වෙදකම් ද කරන්න පුළුවන් වෙන්න ඕනෙ. සමහර රටවල එහෙම කරනවා. අපේ රටේ ඒ සඳහා නීති නැත්නම් නීති හදන්න පුළුවන්. ඒවයි අප ඉක්මන් කළ යුත්තෙ. මේ රටේ එංගලන්තෙ හරි වෙන රටක හරි වෛද්‍ය සභාවලට යටවීමක් හරි කැන්ටබරියෙ ආච්බිෂොප්තුමාට යටවීමක් හරි තියෙන්න බැහැ.

මා කියන්නෙ ආශ්‍රිතයන් ගෙදර යවන්න හරි ගෙදර තියාගන්න කියන එක නොවෙයි. මා බටහිරවත් වෙන කොහේවත් වෙදකමක් දන්නේ නැහැ. මා කියා ඇති මා කිසිම ආකාරයක උගතකුවත්, බුද්ධිමතකුවත්, වියතකුවත් නොවන බව. මට වඩා කරුණු කාරණා දත් අය දසදහස් ගණනින් මෙරට ඉන්න බව මා දන්නවා. අභිධර්මය කටපාඩමේ කියන්න දන්න අය කොපමණ ඉන්නවා ද? අර X කාරයකුත් දැනන් හිටියලු. මා දන්නේ දහම් පාසලේ (එකල ඉරිදා ඉස්කෝලෙ) අවුරුදු හැටපහකට විතර ඉස්සර ඉගෙන ගත් අභිධර්මයෙන් ඉතිරි වෙච්ච ටිකක් පමණයි. ඉගෙන ගත්ත ටිකෙනුත් ගොඩක් අමතක වෙලා. මට අභිධර්මය විද්‍යුත් තැපෑලෙන් උගන්වන්න හදන අය ඉන්නවා. මා දන්න ධර්මය ටික මට ඇති. ඒකත් සූත්‍ර කිහිපයකට සීමා වෙනවා.

මට තේරෙන විධියට අපට ලෙඩ හැදෙන්නෙ එක එක විධියට. ඒ වයිරස් වෙන්න පුළුවන්, හදවතේ නාළවල යම් යම් දේ බැඳීමෙන් වෙන්න පුළුවන්. අපට කොවිඩ් වයිරසය ඇඟට ඇතුළු වූ පමණින් හැමෝට ම කොවිඩ් හැදෙන්නෙ නැහැ. එහෙත් සමාජයේ කොවිඩ් පැතිරීමේ ඉක්මන නම් ඉතා වැඩියි. අද අපට තියෙන ප්‍රශ්නය කොවිඩ් වැලඳුණු අය සුව කර ගැනීම (සුව කිරීම යන්න ගැන මතභේද තියෙන්න පුළුවන්) සහ නොවැලඳුණු අය වැලඳීමෙන් වළක්වා ගැනීම.

ප්‍රශ්නය ඇති වන්නේ කොවිඩ් නොවැලඳුණු අය සම්බන්ධයෙන්. අප සමහර දෙනකුට කොවිඩ් වැලඳෙන එකක් නැහැ. කොවිඩ් රෝගීන් ආශ්‍රය කළත් ඔවුන්ට වැලඳෙන්නේ නැති වන්න පුළුවන්. එහෙත් ප්‍රශ්නය අපට කොවිඩ් වැලඳීමට ඇති ඉඩකඩ (සම්භාවිතාව) ගැන අප නොදැන සිටීමයි. කොවිඩ් රෝගීන් සිටිය යුත්තේ රෝහල්වල කියන්න පුළුවන්. (ඕනෑම රෝගයක් වැලඳුණු අයකු රෝහලේ සිටිය යුතුය කියා මෙයින් කියැවෙන්නේ නැහැ). කොවිඩ් රෝගීන් ආශ්‍රය කළ එහෙත් කොවිඩ් නොවැලඳුණු අය ගැන කරන්නේ කුමක් ද? පිටරටින් එන අය ගැන කරන්නේ කුමක් ද?

කොවිඩ් නොවැලඳුණු අයකු රෝගියකු නොවන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එහෙත් ඒ අය කොවිඩ් රෝගියකු ඇසුරු කර ඇත්නම් කළ යුත්තේ කුමක් ද? එවැන්නකුට රෝගය වැලඳීමේ වැඩි සම්භාවිතාවක් තියෙන්න පුළුවන්. ඔවුන් ගෙදර යවන එක හොඳ වැඩක් නොවෙයි. අප විශාල ප්‍රමාණයකට රෝගය වැලඳෙන්න පුළුවන්. ඒ කියා අප සියලු දෙනා ම ගෙදර නොගිහින් ඉන්න ඕනත් නැහැ. එහෙත් මේ ආශ්‍රිතයන් ගැන අප ටික දිනක් හෙවිල්ලෙන් ඉන්න ඕන. ඒ නිසා තමයි ඔවුන් ඊනියා නිරෝධායනයකට ලක් කරන්නෙ. එය වෙන් කිරීමක් තමයි ඒත් වෙන් කිරීමක් නො වෙයි. පඬි නැට්ටකු එය විකාරයක් පරස්පරයක් කියන්න පුළුවන්. මේ රටේ චතුස්කෝටිකය නූගැන්වෙන එක ගැන මට කරන්න දෙයක් නැහැ. ඇරිස්ටෝටල් එක්ක ජීවත් වෙන්න බැහැ. ඔහු බටහිරයන් නොමග යෑවූ ප්‍රධානියෙක්.

ඊනියා නිරෝධායනය කියන්නෙ රෝගියකු වෙන් කිරීමක් නොවෙයි. මෙය අලුත් තත්ත්වයක්. රෝගියකු නොවන අයකු වුණත් ගෙදර යවන්නෙ නැහැ. නිරෝධායනය කියන සංකල්පය හොඳ නැහැ. රෝගියකු නොවන බැවින් රෝහලකට යවන්නෙත් නැහැ. රෝගය වැලඳීමට දැනට ඉඩක් නැති බව යම් ආකාරයකට දැනගත් පසු ගෙදර යැවීම සඳහයි නවත්තන් ඉන්නෙ. මේ ආයතන විශ්‍රාම ශාලා වගේ. කැමති නම් හැකි නම් හෝටලයක විශ්‍රාමයෙන් ඉන්තත් පුළුවන්.

මේ රෝගය වැලඳෙන එක මාරාන්තිකවත් ලජ්ජාවට කරුණක්වත් නොවෙයි. ජනමාධ්‍ය ඒ බව කීමට උනන්දු වෙන්න ඕන. ජනමාධ්‍ය අද කරන්නෙ රෝගයෙන් බඩ වඩා ගන්න එක පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + fifteen =