වසරේ මුල්මාස තුනට සියදිවිනසාගැනීම් හත්සිය හැත්තෑ තුනක්.
ලොකුම හේතුව රස්සාව.
මෙම වසරේ (2020) පළමු මාස තුන ඇතුළත මෙරට පුද්ගලයින් 779ක් සියදිවි නසාගෙන තිබේ. එයින් 635 ක් පිරිමි පුද්ගලයින් වන අතර 144 ක් කාන්තාවන්ය. ඊයේ (10 වැනිදා) දිනට යෙදී තිබූ ලෝක සිය දිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් ශ්රී ලංකා සුමිත්රයෝ සංවිධානය පැවත්වූ වැඩසටහනකදී මෙම තොරතුරු හෙළිවිණි.
එම දත්තවලට අනුව වැඩිම පිරිසක් සිය දිවිනසාගෙන ඇත්තේ වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයන්ය. එම පිරිස 84කි. එමෙන්ම වයස අවුරුදු 21ත් 25ත් අතර සිය දිවිනසාගෙන ඇති ප්රමාණ ද 80කි. වයස අවුරුදු 8ත් 10ත් අතර දරුවන්ද 19ක් සියදිවි නසාගෙන තිබේ.
කෙසේ වෙතත් කොවිඩ් වයිරසයේ බලපෑමත් සමග ඇතිවූ ගැටලු හේතුවෙන් උපදේශන සේවාවලට පැමිණෙන පිරිස විශාල වශයෙන් වැඩිවී ඇති බව පවසන එම සංවිධානය පවුල් ආරවුල් ඇතිවීම ඔවුන් පීඩාවට පත්කර ඇති ප්රධාන ගැටලුව බවද පවසයි. රැකියා අහිමි වීම, වැටුප් ඇතුළු ආදායම් කපා හැරීම සහ රැකියාවේ අනාරක්ෂිත බව ජනතාව පීඩාවට පත්කිරීමට ඍජුවම බලපෑම ඇති බවත් සමස්තයක් ලෙස එය පවුල් ආරවුල් ඇතිවීමට බලපා ඇති බවද ඔවුහු පවසති.
2019 වසරේ සියදිවි නසාගෙන ඇති ප්රමාණය 3135කි. එයින් 2489 පිරිමි වන අතර 646ක් කාන්තාවන්ය. මෙම කාන්තාවන් අතරින් 486 ක් සියදිවි නසා ගැනීම් සිදුව ඇත්තේ ස්වාමිපුරුෂයාගෙන් සිදුවන හිංසා සහ පවුල් ආරවුල් හේතුවෙනි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජනතාව මත වැඩි පීඩනයක් ඇති බැවින් එකිනෙකා කෙරෙහි අවධානයෙන් සහ තේරුම්ගෙන සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් වන බවද ඔවුහු වැඩි දුරටත් අවධාරණය කරයි.
•ශිරන්තනි මානවඩු / arunaEpaper