“ලීසින් සමාගම් තවමත් මෙල්ල වී නෑ. වාරික ඉල්ලා අදත් බලකරනවාලු.” අරුණ පුවත්පත වාර්තා කරයි.

0
355
- Advertisement -

“ලීසින් සමාගම් තවමත් මෙල්ල වී නෑ.
වාරික ඉල්ලා අදත් බලකරනවාලු.”
අරුණ පුවත්පත වාර්තා කරයි.

වාහනය ලියාපදිංචියට පොතේ සත්‍ය පිටපත් දෙන්නේ නෑ; සහන කාලයක් ඇතත් ලීසිං වාරික ඉල්ලා බල කරනවා

ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුවේ ලේකම් දිමිත්‍රි නාලක කියයි

•ශිරන්තනි මානවඩු

වාහන ලියාපදිංචි සහතිකවල, සහතික කළ සත්‍ය පිටපතක් මූල්‍ය සමාගම්වලින් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී වාහන හිමියන් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා රථවාහන ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුවේ ලේකම් දිමිත්‍රි නාලක පවසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී වාහන ලියාපදිංචි සහතිකයේ පළමු පිටපත හෝ සහතික කළ සත්‍ය පිටපතක් ඉල්ලා සිටී. එහිදී වාහන හිමියන් අදාළ මූල්‍ය සමාගම්වලින් ඒවා ඉල්ලාසිටීමේදී, පිටපතක් ලබාදීමට නම් ලීසිං වාරිකවලින් කොටසක් හෝ ගෙවීමට බලකිරීම මත නව ආදායම් බලපත්‍රය ලබාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

නමුත් කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් වාහන ලීසිං වාරික ගෙවීම සඳහා මාස 6 ක සහන කාලයක් ලබාදීමට රජය විසින් නියෝග කෙරිණි. රජයේ නීති රෙගුලාසිද අභියෝගයට ලක් කරමින් සහ පාරිභෝගිකයාද පීඩාවට පත්කරමින් බහුතරයක් මූල්‍ය සමාගම් සහ ඇතැම් බැංකු විසින් ගෙනයන මෙම අත්තනෝමතික ක්‍රියාව වහා නැවැත්විය යුතු බව හෙතෙම කියා සිටියි.

නීති ප්‍රකාරව යම් පුද්ගලයකු විසින් කොවිඩ් වසංගතයට පෙර වුවද හිඟ වාරිකයක් ගෙවීමට තිබුණද අදාළ මූල්‍ය සමාගම විසින් වාහන ලියාපදිංචි සහතිකයේ සත්‍ය පිටපතක් ලබාදීමට බැඳී සිටින බවද ඔහු පවසයි. කෙසේ නමුත් මූල්‍ය සමාගම් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් සත්‍ය පිටපත් වෙනුවට සාමාන්‍ය පිටපතක් පිළිගත යුතු බවට තමා යෝජනා කරන බවද හෙතෙම කීය.

මීට අමතරව ලීසිං වාරික ගෙවීමට ලබාදුන් මාස හයක සහන කාලය කිසිසේත් සහනයක් නොවන බව පවසන ඔහු එය වාහන හිමියන් දඩ පොලියකට යටත් කරමින් වසංගත කාලය තුළ සිදුකරන තවත් සූරාකෑමක් පමණක් බවද වැඩිදුරටත් සඳහන් කරයි.

@ arunaEpaper