“රුපියල් 2500 ක් සොරකම් කළාට අවුරුදු පහකට හිරේ වැටුණු අයත් ඉන්නවා.” ජනාධිපති නීති අධ්‍යක්ෂක

0
536
- Advertisement -
Share

රුපියල් 2500 ක් සොරකම් කළාට
අවුරුදු පහකට හිරේ වැටුණු අයත් ඉන්නවා.”
ජනාධිපති නීති අධ්‍යක්ෂක

කෝවිඞ් වසංගත තත්ත්වයත් සමග, බන්ධනාගාරවල තිබෙන තදබදය ලිහිල් කිරීම සදහා, නිදහස් කර යැවිය හැකි සිරකරුවන් පිළිබදව සොයා බැලීමට, ජනාධිපතිවරයා විසින් සය පුද්ගල කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ, ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂක, හරිගුප්තා රෝහණධීර මහතා ය.

දැනට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබදව ඔහු ඇතුළු පිරිස අධ්‍යයනයක් කරමින් සිටින බවත්, එම අධ්‍යයනයේ දී රුපියල් 2500 ක් සොරකම් කිරීම නිසා අවුරුදු පහකට හිරේ ළගින්න සිදු වූ පුද්ගලයන් ද සිටින බව හදුනා ගත් බවත් ඒ මහතා පවසා තිබුණි.

අරුණ පුවත්පතින් අප පහත උපුටා දක්වන්නේ, ඒ මහතා වැඩි දුරටත් දක්වා ඇති අදහස් ය.

‘‘රටේ බන්ධනාගාරවල විසිහය දාහසක විතර රැඳවූවන් පිරිසක් ඉන්නවා. නමුත් බන්ධනාගාරවල උපරිම ධාරිතාව දාහතර දාහයි. කොවිඩ් තත්ත්වයත් එක්ක මේ සංඛ්‍යාවෙන් සැලකිය යුතු කොටසක් පිටතට ගැනීමේ අවශ්‍යතාවක් මතුවෙලා තිබෙනවා. මේ අය නිදහස් කිරීම යම් ප්‍රමිතියකට සිදුකළ යුතුයි. ඒ සඳහා නිර්ණායක හදන්න තමයි මම ඇතුළු හය දෙනෙක්ගෙන් යුත් කමිටුවක් ජනාධිපතිතුමා විසින් පත් කළේ.

මෙතැනදී අප විශේෂයෙන්ම වයස සැලකිල්ලට ගන්නවා. හැටට වැඩි අය ගැන විශේෂ අවධානයක් යොමුකරනවා. ඒ වගේම අවුරුදු විස්සක පමණ සිරදඬුවමින් අවුරුදු පහළොවක පමණ කාලයක් සිරගතව සිටි අය පිළිබඳවත් අවධානය යොමුකරනවා. වකගුඩු රෝග වගේ සැලකියයුතු වෛද්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව වගේම වරදේ ස්වභාවය ගැනත් අපි සලකා බලනවා. රුපියල් දෙදහස් පන්සීයක හොරකමට අවුරුදු පහක් හිරේ ගිය අය ඉන්නවා. ඒකෙනුත් අවුරුදු දෙකක් විතර ගෙවී ඇති නම් ඒ අයවත් අපි සලකා බලනවා’’.

මීට අමතරව විශාල කාලයක් නඩු ප්‍රමාදවීමෙන් අනතුරුව දඬුවම් නියම වූ පුද්ගලයන් පිළිබඳවද සාව දීමට නිර්දේශ කිරීමේදී සලකා බලන බව ප්‍රකාශ කළා. නීති අධ්‍යක්ෂවරයා ඊට අදාළ නිර්දේශ සකස් කිරී‍මේ කටයුතු කඩිනම් කර ඇතැයි පැවසීය. එසෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කිරීම මෙන්ම 8000ක් පමණ රිමාන්ඩ් රැඳවූවන්ගෙන් කොටසක් මුදා හැරීම පිළිබඳව සිය කමිටුව නිර්දේශ ඉදිරිපත් කරන බව නීති අධ්‍යක්ෂ රෝහණධීර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපති නීති අධ්‍යක්ෂ

හරිගුප්තා රෝහණධීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 2 =