මෘත දේහ වැළලුවාට කොරෝනා පැතිරෙන්නේ නෑ.

0
407
- Advertisement -
Share

මෘත දේහ වැළලුවාට කොරෝනා පැතිරෙන්නේ නෑ.

කොවිඩ් 19 රෝගය හේතුවෙන් මරණයට පත්වන රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීම සම්බන්ධව කිසිම රටක නොවූ විරූ ආකාරයේ මහත් ආන්දෝලනයක් අප රට තුළ පවතින බව සියලු දෙනා දන්නා කරුණකි. මේ අතර වඩාත්ම කතිකාවට ලක්වූ මාතෘකාවක් නම්, ලෝකයට ආගන්තුක කොරෝනා වැනි මාරාන්තික වයිරසයකින් ආසාදිත රෝගියකුගේ මෘත ශරීරය මිහිදන් කිරීමෙන් මානව ප්‍රජාවගේ පැවැත්මට හානිකර විය හැකිද යන්නයි. ඒ සම්බන්ධව විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් නොයෙකුත් මත පළ කර තිබුණද මෙහිදී බහුලව දක්නට ලැබුණේ විද්‍යාත්මක සාක්ෂිවලට පටහැනි තර්කයන්ය.

සියලුම වසංගත කලින් කලට ලොවට පැමිණෙන්නේ ආගන්තුක ආසාදන තත්ත්වයන් ලෙසය. මෙවැනි වසංගත තත්ත්වයන් තුළ භූමිදානය කළ මළ සිරුර නිසා සුසාන භූමිවල පස දූෂණය වන බවට මිත්‍යා මතයක් සමාජයේ ගොඩනැගී ඇත. එසේ පස දූෂණය වීමෙන් අවට ප්‍රජාවට අහිතකර බලපෑමක් එල්ල වන්නේ නම්, ඉතිහාසයේ ඇති වූ මහමාරිය, කොලරාව, වසූරිය, ක්ෂය රෝගය, ඉන්ෆ්ලුවෙන්සාව, පෝලියෝ, ඒඩ්ස් හා ඉබෝලා වසංගත තත්ත්වයන් තුළදී, තනිව හා සමූහ වශයෙන් භූමිදානය කළ මෘතශරීර මගින් අවට ප්‍රජාවට බලපෑමක් විය යුතුව තිබුණද දියුණු තාක්ෂණික උපක්‍රම හා මෙවලම් භාවිතයෙන්, මෙම විෂය සම්බන්ධ විශේෂඥයන් කළ කිසිම සමීක්ෂණයකින් එසේ සිදුවන බවට සාක්ෂි සොයාගෙන නොමැත.

එවැනි අවදානමක් තිබේ නම් ඉබෝලා වැනි ඉතා භයානක හා පහසුවෙන් ආසාදනය විය හැකි රෝග, රුධිරය හා දේහ තරල මගින් සම්ප්‍රේෂණය වන සෙංගමාලය C හා B මෙන්ම HIV රෝගීන්ගේ මෘත දේහද භූමිදානය කිරීම ලොව පුරා (දියුණු රටවල්ද ඇතුළුව) සිදු නොවුණු ඇත. මෙසේ භූමිදානයට අවසර දීමට ප්‍රධානම හේතුව වන්නේ බැක්ටීරියා හා වයිරස මෘතදේහ මත දිගුකාලීනව ජීවත් වීමට නොහැකි නිසාය.

තවත් අවධාරණය කළ යුතු කරුණක් නම්, ආහාර ජීර්ණ පද්ධතියේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවින්, ක්‍රමාණුකූලව භූමිදානය නොකළ මෘත දේහයන්ගෙන් අසූචි නිකුත් වීමේදී (Faecal leakage) පිටතට ගමන් කිරීමේ සම්භාවිතාවක් පවතින බවයි. මේ නිසාම කොළරාව වැනි ජීරණ පද්ධතිය ආශ්‍රිත බැක්ටීරියා ආසාදිත රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීමේදී එම මෘත ශරීරය විෂබීජහරණයකට ලක්කර, සීල් කරන ලද මල්ලක් (Bag) තුළ තැන්පත් කෙරේ.

ජීරණ පද්ධතිය ආශ්‍රිත වයිරසයන් බොහෝමයක් ඇත. එම වයිරසයන් පරිසරයට මුදාහැරීම සිදුවන්නේ ආසාදිත මෘතදේහ මගින් පමණක් නොවේ. සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයෙන් මළ පහ කිරීම හා නිසි ප්‍රමිතියට අනුකූලව අසූචි වළවල් නොපිහිටීම තුළින්ද එදිදෙනා කටයුතුවලදී මෙම වයිරස පරිසරයට මුදාහැරීමේ සම්භාවිතාවක් ඇත. මෙයට උදාහරණයක් ලෙස සෙංගමාලය A (Hepatitis A) වයිරසය හැඳින්විය හැක. මෙම වයිරස කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිරෙන්නේද අසූචි ආශ්‍රිත වයිරස මුඛ මාර්ගයෙන් ඇතුල්වීම මගින්ය. (faeco-oral route). නමුත් කොවිඩ් 19 ස්වසන පද්ධතිය ආශ්‍රිත වයිරසයක් (Resporatory Pathogen) වන අතර එය ජීරණ පද්ධතියේ (Enteric Virus) ඇති වයිරසයන් සමග කිසිදු සමානකමක් හෝ සබඳතාවක් නැත.

මේ අතර කොරෝනා වැනි මාරාන්තික වයිරසයකින් ආසාදිත රෝගියකුගේ මෘත ශරීරයක් මිහිදන් කිරීම නිසා සුසාන භූමිවල පස, ජලය හා පරිසරය දූෂණය වීමෙන් මානව ප්‍රජාවගේ පැවැත්මට හානිකර තත්ත්වයක් උද්ගත විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ විසින් රචිත ලිපියක පවසා තිබුණි. එම ලිපිය විද්‍යාත්මක කරුණු මත පදනම් කිරීමට ඇය ගත් උත්සාහය අගය කළ යුතු නමුත් එහි අන්තර්ගතය පාඨකයා නොමග යවන සුළුබව කනගාටුවෙන් වුවද පැවැසිය යුතුය.

එම මහත්මිය එහිදී සඳහන් කළ එක් ප්‍රකාශයක් නම් බැක්ටීරියා හා වයිරස ජල මූලාශ්‍ර ඔස්සේ ගංගා, ඇළ, දොළ, ළිං ආදිය සමග මිශ්‍ර වී දීර්ඝ කාලයක් පැවැතීමේ සම්භාවිතාවක් තිබෙන බවයි.

කොවිඩ් 19 යනු පිටත මේද ආවරණයක් පවතින තනි RNA රැහැනක් (Single Stranded RNA) සහිත වෛරසයකි. මෙම වයිරස ක්ලෝරීන් වැනි ඉතා සරල විෂබීජ නාශක මගින් පවා විනාශ කළ හැක. නිවසේදී නිතර භාවිත කරන බ්ලීචින් කුඩු (Bleaching Powder) මෙයට නිදසුනකි. එසේම 70% මධ්‍යසාර ද්‍රාවනය මෙන්ම සබන් මගින්ද මෙම මේද ආවරණ බිඳ දැමීමට හැකි නිසා RNA රැහැන ඉවත් වී වයිරසය නිෂ්ක්‍රීය තත්ත්වයට පත් වේ. විවිධ කාල වකවානුවල කළ සමීක්ෂණ අනුව කොරෝනා වයිරසය ක්ලෝරීන් නොයෙදූ ජලය තුළ ආයු කාලය දින දෙකක් පමණ බවත්, 99.9%ක්ම වයිරස අපවිත්‍ර ජලය තුළදී දින 2ත් 4ත් අතර කාලයත් තුළ අක්‍රිය වන බවත් සොයාගෙන ඇත. 2020 මාර්තු මස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කළ ‘water Sanitation, Hygiene and Waster Managment for Covid 19’ ප්‍රකාශනයෙහි සඳහන් පරිදි මතුපිට භූගත දූෂිත ජලයේ කොවිඩ් 19 වයිරසය පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැත.

නමුත් ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත වයිරස, පිටත මේද ආවරණයක් රහිත ඒවා වේ. මෙම වයිරස අපවිත්‍ර ජලය තුළ සජීවීව සිටීමේ හැකියාවක් හා යම් කිසි දුරක් ගමන් කිරීමේ හැකියාවක් තිබේ. නැවත වරක් අවධාරණය කළ යුතු කරුණ නම් කොවිඩ් 19 යනු ස්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින ​වයිරසයක් බවත් එය ආහාර ජීර්ණ පද්ධතිය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය. එය ආසාදිතයකුගෙන් නිරෝගී කෙනෙකුට බෝවන්නේද ස්වසන මාර්ගයෙන් පිටවන බිඳිතිවලින් පමණකි. මෙම බිඳිති ආශ්වාස කිරීම මගින් හෝ ශ්ලේෂ්මල පටල හරහා (නාසය හා ඇස්) නිරෝගී පුද්ගලයකුගේ ශරීරයට වයිරසය ඇතුළු විය හැක. එබැවින් කොවිඩ් 19 වයිරසය ජල මූලාශ්‍ර ඔස්සේ ගංගා, ඇළ, දොළ, ළිං ජලය ආදිය සමග මිශ්‍ර වීමේ හා දීර්ඝ කාලයක් පැවැතීමේ සම්භාවිතාව නොසලකා හැරිය හැකි තරම්ය.

එසේම මෙම මෘත ශරීර භූමිදානය කරන්නේ නිවැරදි ලෙස දේහය එතීමෙන් අනතුරුව, කිසිදු තරලයක් කාන්දු නොවන ආකාරයේ සීල් කරන ලද ප්ලාස්ටික් මෘත දේහ බෑග (Body Bags) තුළ බහාලීමෙන් අනතුරුවයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කළ ප්‍රකාශිතයේ සඳහන් වන්නේ කොවිඩ් 19 රෝගීන්ගේ මෘත දේහ භූමිදානය කිරීමේදී හෝ ආදාහනය කිරීමේදී මෘතදේහ මලු තුළ බහාලීම අනවශ්‍ය බවයි. මෙයට හේතුව වයිරසය සම්ප්‍රේෂණය වන්නේ ස්වසන මාර්ගයෙන් පිටවන බිඳිති ආකාරයෙන් පමණක් නිසා හා එය ආදාහනය/ භූමිදානය මගින් සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ නැති නිසාය.

තවද මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළ පරිදි මෘත ශරීර දිරාපත් වීමේදී රසායනික අයන හා සංයෝග පරිසරයට මුදාහැරීම සාමාන්‍ය ක්‍රියාදාමයකි. මෙය කොවිඩ් 19 මෘතදේහවලට පමණක් අදාළ නැත.

මෙම වයිරස ජල මූලාශ්‍ර සමග පරිවහනය වී ළිංවලට එය කාන්දු වීමට හැකි යැයි විද්‍යාත්මක තහවුරු වී තිබෙන බව තවත් සාවද්‍ය මතයක් ගොඩනැගී ඇත. එහිදී තේරුම් ගත යුත්තේ බැක්ටීරියා මෙන් නොව වයිරස ප්‍රගුණ වීම සඳහා ජීව සෛලයක් අවශ්‍ය බවය. මරණයත් සමගම මෘත දේහයේ සෛල තුළ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ශරීරයේ ඇති සෛල තුළ පවතින එන්සයිම මගින් සෛල ස්ව ජීරණ ක්‍රියාවලියකට භාජනය කරයි. එවිට වයිරස ප්‍රගුණ වීම සඳහා පවතින හිතකර පරිසරය අහිමිවීම නිසා වයිරස ප්‍රගුණ වීම ඇනහිටී.

එසේ නම් මෙම රෝගය සම්ප්‍රේෂණය වන්නේ පෘෂ්ඨයන් මතුපිට පවතින වයිරසයෙන්ද යන්න කෙනෙකු ප්‍රශ්න කළ හැක. දැනට පවතින සමීක්ෂණ දත්ත අනුව සාමාන්‍යයෙන් මෙම වයිරසය තඹ පෘෂ්ට මත පැය 3ක්, කාඩ්බෝඩ් පෘෂ්ඨ මත පැය 24ක් හා ප්ලාස්ටික් හෝ ලෝහ පෘෂ්ඨයන් මත දින 2 සිට 3 අතර කාලයක් සජීවීව සිටී. එබැවින් කිසියම් ආකාරයකින් ක්ෂුද්‍ර ජීවීන් පසෙහි රැඳුණද අවසානයේදී නිසි පෝෂක නොමැති නිසා පසුව විනාශ වී යනු ඇත. එසේම මෙම වයිරසය හිරුඑළිය, උෂ්ණත්වය, පසෙහි ආම්ලික හා භාෂ්මික ගතිය වැඩිවීම වැනි පාරිසරික තත්ත්වයන් සමග විනාශයට පත්වේ. තවද මෘත දේහයන් ආදාහනය හෝ භූමිදානය කිරීමට ප්‍රථම නිසි විෂබීජහරණයකට ලක්කෙරේ.

එසේ නම් මෙම ඕජස් සහිත වයිරසය සජීවි තත්ත්වයෙන් කාන්දු වී සීල් කර ඇති මෘත දේහ මලු තුළින් පිට වී ජලයට එක්ව, ජලය තුළත් ජීවීව සිට, නැවත අවට ප්‍රජාව පරිභෝජනයට ගන්නා ජලයට එකතු වී රෝගය බෝ කිරීමේ සම්භාවිතාව මෙය කියවන ඔබට නිර්ණය කළ හැකිය.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානය, යුරෝපා සංවිධානය වැනි සංවිධානයන්ද ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, මැලේසියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය හෝ ඉන්දියාව වැනි රටවල්ද නිකුත් කළ මාර්ගෝපදේශ (Guidelines) වල මෘත දේහ ආදාහනය පමණක් කළ යුතු බවට සඳහන් වී නොමැත. චීනයේ මෙය ආදාහනය ලෙස සඳහන් කරන්නේ විද්‍යාත්මක හේතු නිසා නොව විශාල වශයෙන් මරණ සිදුවුවහොත් භූමිය හා කාලය යන සම්පත් කළමනාකරණයේදී ගැටලු මතුවිය හැකි නිසාය. එය හුදෙක් කළමනාකරණ උපායමාර්ගයක් වන අතර විද්‍යාත්මක පදනමක් නොමැත.

කොවිඩ් 19 රෝගීන්ගේ මෘ‍ත දේහ භූමිදානය කිරීමට තීරණය කළොත් එය ඉතාම අනුවණ හා අවදානම් ක්‍රියාවක් බවට මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කළ ප්‍රකාශයද පිළිගත නොහැක. එයට හේතුව, සාමාන්‍යයෙන් මෘතදේහයක් භූමිදානය කරන්නේ නිසි ප්‍රමිතියකට අනුවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව මෙය කිසියම් ජල ප්‍රභවයක සිට මීටර් 30ත් 50ත් අතර දුරකින් පිහිටි ස්ථානයක භූමිදානය කළ යුතු වේ. සුසාන භූමියක් සඳහා සාමාන්‍යයෙන් අවසර ලබාදෙන්නේ මෙවන් නිර්ණායකයන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය. එසේම භූමිදානය සඳහා ඇති වළෙහි ගැඹුර අඩි 6ත් 8ත් තිබිය යුතු අතර වළෙහි පතුල භූ ජල මට්ටමට වඩා මීටර් 1.5ක් පමණ උසකින් පිහිටිය යුතුයි.

කොවිඩ් 19 මෘත ශරීරයක් භූමිදානය කිරීම ​හෝ ආදාහනය කිරීම යනු හුදෙක් සංස්කෘතික හේතූන් පදනම් කරගනිමින් ගනු ලබන තීරණයන් මිස එක් ක්‍රමයක් අනිත් ක්‍රමයට වඩා උසස් යැයි සැලකීමට කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොමැත. ලොව පුරා මිනිසුන් දහස් ගණනින් ආකාලයේ මිය යන මෙවන් මොහොතක මරණය දෙස මීට වඩා මානුෂීය ලෙස බැලීම ඔබේත් මගෙත් වගකීම වේ. මෙය නිරයට හෝ ස්වර්ගයට යාම තීරණය කිරීම සඳහා නොව අවසන් මොහොතේදී හෝ එම පුද්ගලයාට ගරු කිරීමක් වශයෙනි.

වෛද්‍ය මරීනා තාහා රිෆායි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − ten =