“මුවහමට තඩිබෑම හෙවත් ප්‍රේමදාස නැවත ඝාතනය කිරීම.” වජිර කස්තුරි ලියයි.

0
310
- Advertisement -
Share

“මුවහමට තඩිබෑම හෙවත්
ප්‍රේමදාස නැවත ඝාතනය කිරීම.”
වජිර කස්තුරි ලියයි.

1
මුව හමට තඩි බෑම හෙවත්
ප්‍රේමදාස නැවත ඝාතනය.


 ප්‍රේමදාස අපිට ආයුධයි සල්ලියි දුන්නා. අපි සිංහල මිනිස්සු මැරුවේ ඒ ශක්තියෙන්.
 ප්‍රේමදාස ඉන්දියානු හමුදාවට යන්න කිව්වා. අපේ හමුදාව නිස්කාරණයේ මැරුණේ ඒ
හින්දා.
 ප්‍රේමදාස ටයර් සැයවල් හදලා තරුණයෝ 50,000ක් ඝාතනය කළා.

මේ දිනවල දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ මිනීවල නැවත හාරමින් බොහෝ දේශපාලන වේදිකා වලිනුත්, ප්‍රබුද්ධ සාකච්ඡා වලිනුත් පස්පඩංගුවේ බැණ වදින්නෙ එසේයි. 88-89 ගැන මෙලෝ හසරක් නොදන්නා අය පවා මේ ගැන කතා කරන්නේ අභිරුචියෙනි. තවත් සමහර ප්‍රේමදාස සම කරන්නට වෙර ගන්නේ පොල්පොට් ටය. ඒ ප්‍රේමදාස ගැනත්, පොල්පොට් ගැනත් ඔවුන් දන්නා තරමයි. නමුත් ගොබෙල්ස් පැවසූ ආකාරයට බොරුව කියාගෙන කියාගෙන යනවිට එය ඇත්තක්බ වට පත්වෙයි. ඒ අනුව අද වනවිට ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් සමාජගත වන කරුණු යථාරූපී නොවන බව පැහැදිලිය. එබැවින් අද මේ මොහොතේ දේශපාලනය පසෙක තබා, ප්‍රේමදාස පිලිබඳ ගැඹුරු සංවාදයක් ඇරඹිම යුගයේ අවශ්‍යතාවයක් ලෙස සැලකීම වැදගත්ය.

මෙම ලිපියේ ප්‍රේමදාස සාධකය විවරණය කෙරෙන්නේ ඔහුගේ ජීවන තොරතුරු ආශ්‍රිතව නොවේ.නමුත් ඔහුගේ ජීවිතයේ ඇතැම් ලක්ෂණ, පසුබිම හා ඔහු පෙලූ පටු දේශපාලනික පීඩාවන් මෙහිදි සැලකිල්ලට ගැනීමට සිදුවෙයි.

ප්‍රේමදාස යනු, එක්සත් ජාතික පක්ෂය තුළ සුදු කපුටෙක් බව ආරම්භයේදිම සටහන් කිරීම
වැදගත්ය. ප්‍රභූ මහෝත්තම දේශපාලනයකට නතුව තිබූ එක්සත් ජාතික පක්ෂයට ඔහු ඇතුළු
වන්නේ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු ව්‍යාපාරයේ සිටය. එම ව්‍යාපාරයේ සිට තමා නියෝජනය කරන පංතියට, ජන සමාජයට සැලකිය යුතු සේවාවක් කළ නොහැකි බැව් ඔහු ඉක්මනින්ම තේරුම්ගත්තේය. ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වන්නේ බලය ලබාගත හැකි පක්ෂයක්, ජනතාවට සේවය කළ හැකි පක්ෂයක් තමා නියෝජනය කළ යුතුය යන විශ්වාසයේ පිහිටමිනි. එසේ වුවද ඔහු ඉතාම ස්වාධින දේශපාලන චින්තනයකින් කටයුතු කළේය. ඉතාම පිරිසිදුව, පිලිවෙලට ජාතික ඇඳුමෙන් සැරසුනේය. බුද්ධිමතුන්, විදග්ධයන් ඇසුරු කළේය. එවකට වාමාංශික කඳවුරක්ලෙස එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වෛරයට, ක්‍රෝධයට හසුව තිබූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට නිතර ආවේය. ගියේය. බඹරැන්දේ සිරි සීවලි, වල්පොල රාහුල වැනි බුද්ධිමත් යතිවරුන්සමග නිතර සාමීචියේ යෙදුනේය. එවකට කෙසෙල්වත්තේ සිට, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන දක්වා, රැලේ වර්ගයේ බයිසිකලයකින් යන ජාතික ඇඳුමෙන් සැරසුන තරුණයා බොහෝ දෙනෙකුට සුලබ දසුනකි. බයිසිකලයකින් ගියද තම ජාතික ඇඳුමේ එක රැල්ලක්, දුහුවිලි බිඳක් තැබෙන්නට ඔහු ඉඩක් නොතිබ්බේය. පිරිවෙනට ගොස් සාක්කුවෙන් පනාව ගෙන හොදින් හිස පීරා මිස ඔහු
ආවාසයට ඇතුළු නොවීය. එහිදි ලැබෙන තේ කෝප්පය පානය කිරීමෙන් පසුව එය මැනවින් සෝදා ලේන්සුවෙන් පිස දමා මනාව අසුරා තැබීය. ඒ ප්‍රේමදාස චරිතයයි.

2
ඔහු කිසි විටෙකත් තම එක්සත් ජාතික පක්ෂ නියෝජිතකම විද්‍යාලංකාරයට හැංගුවේ නැත. තම මතය වෙනුවෙන් පෙනී සිටියේය. සිරි සීවලි හිමියන්, රාහුල හිමියන් වැනි විදග්ධ යතුවරුන් සමග ඒ පිලිබඳව දැඩිව වාද කළේය. උන්වහන්සේලාගෙන් නොදන්නා දේ අසා දැන ගත්තේය. මේ අනුව ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය තුළම ජනතාවාදි කඳවුරක් ගොනු කරමින් සිටින බව මුලින්ම දැනගත්තේ ඇග පුරාම මොලයක් සහිත ජේ. ආර්. ජයවර්ධනය.

පසුකාලිනව ජයවර්ධන මහතා ප්‍රේමදාස මහතාව තම අනුප්‍රාප්තිකයා කරගන්නා විට, එය
මුළුමනින්ම ජයවර්ධන මහතාගේ පිලිගැනීම, එකග’තාවය හෝ අනුමැතිය අනුව සිදු වූවකැයි විස්වාස කළ නොහැක. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට නම් ප්‍රේමදාස වැනි බිම්මට්ටම තදින් ස්පර්ශ කළ හැකි, සංවිධාන ශක්තියෙන් අනූන, ඉතාම සරල, උපහාසාත්මක, ආකර්ශනිය වාග් චාතුර්යයක් සහිත අයෙක් සමීප කරගත යුතු බව ජයවර්ධන මහතා විස්වාස කළේය. ප්‍රේමදාස මහතා ඒ වනවිට බිහි කරගෙන සිටි පුරවැසි පෙරමුණ දිය කිරීමේ එකගතාවය මත ජයවර්ධන මහතා ඔහුව තම අනුප්‍රාප්තිකයා කරගත්තේ එසේය.

1977 වසරේ මහා මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ හඩ’ වූයේ ප්‍රේමදාසය. ඔහු මැතිණියටත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටත් වැරෙන් පහර දුන්නේය. ජයවර්ධන මහතා නොඇසූ කන්ව, නොදුටු ඇසින් සිටියදි ප්‍රේමදාස මහතා කෙසෙල්වත්තෙ සිට හොරගොල්ලට මහා වෙඩි මුරයක් තැබුවේය.

“මම කතා කරන්නේ කෙසෙල් වත්තේ ලැවරියා විකුණපු කොලුවා… මම කෙසෙල්වත්තේ ලැවරියා වික්කත් සහජාතක එකෙක්. වලව්වක ඉපදුන අවජාතකයෙක් නෙමෙයි…”

ප්‍රේමදාස මහතා එසේ හඩ නැගුවේ පාර්ලිමේන්තුවේය. ඒ අනුර බණ්ඩාරනායක ප්‍රේමදාස මහතාට කෙසෙල්වත්තේ ලැවරියා විකුණපු කොලුවායැයි නින්දා කළ නිසාය. ප්‍රේමදාස මහතා එය නිකම්ම ඇතෑරියේ නැත. අනුර බණ්ඩාරනායකට පමණක් නොව, මැතිණියටත්, හොරගොල්ල වලව්වටත්, රොස්මිඞ් බංගලාවටත්ඇඩ්‍රස් නැති වෙන්නම අත දැග හැර දුන්නේය. මෙහි කූඪප්‍රාප්තිය වූයේ 1977 වසරේදි ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ කළ මංගල කතාවයි. එය ඔහුව පෙළමින්, චප්ප කරන්නට හැදූ සියලු බලවේග වලට කදිම පිළිතුරක් විය.

ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගන්නේ දැඩි බලපෑමක් මතය. එයට හේතුව
වන්නේ ජයවර්ධන මහතා තමාගේ පංතියට අයත් ගාමිණි දිසානායකට හෝ ලලිත් ඇතුලත්මුදලි හට බර තැබූ නිසාවෙනි. හේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි අරගලය දියත් කරමින්ගින්නක් සේ පැතිරෙමින් තිබුන නිසාත්, එය මෙල්ල කරගන්නට නම් ප්‍රේමදාස වැනි බිම්මට්ටම ස්පර්ශ කළ හැකි නායකයෙක් අවශ්‍ය නිසාත් ප්‍රේමදාස මහතා ජනාධිපති 1989 අපේක්ෂකයා කරනු හැරෙන්නට ජයවර්ධන මහතාට කළ හැකි දෙයක් නොවීය.

ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට එක් වන විට ප්‍රජාතන්ත්‍රවාදයේ ශිෂ්ටසම්පන්නකම් වලින්
ඔබ්බෙහි වූ පිළිකුල් සහගත බොහෝ දේ ගොඩ අදිමින් ඔහුට පහර දෙන ප්‍රතිපත්තියක්අ නුගමනය කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකු හට අද
වනවිට අමතක වී තිබේ. නැතහොත් අමතක කර තිබේ. ප්‍රේමදාස නතු වූ කුලය, පංතිය, ඉංග්‍රිසි
අනුකාරකයෙක් නොවීම ආදියට ප්‍රභූත්තම පංතිය විසින් තදින්, උපහාසාත්මකව, අපහාසාත්මකව පහර දුන්නේය. තමා අධ්‍යාපනය ලැබුවේ මරදාන ශාන්ත ජෝසප් විදුහලෙන්යැයි ප්‍රේමදාස පවසන විට, එම විදුහලේ අධ්‍යක්‍ෂ පියතුමා ලවා එය එසේ නොවන බවත්, ප්‍රේමදාස මහතා තම පාසැලේ රාත්‍රි පංතිවලින් පමණක් අධ්‍යාපනය ලබා ඇති බවක් ප්‍රකාශයක් ලබාගන්නට තරම් ප්‍රභූ පංතිය සූක්ෂම විය. මෙහිදි ප්‍රභූ පංතිය යනු ප්‍රේමදාස මහතාගේ ප්‍රතිවිරුද්ධවාදි අපේක්ෂිකාව වූ මැතිණිය පමණක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේම ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැන්නවුන්සිටියේද ඒ පිලේම තිරයට පසුපසිනි.

3
එවකට ඉන්දු ලංකා ගිවිසුම ආරම්භ වී තිබිණි. ඉන්දියාව ලංකාවට පරිප්පු ප්‍රහාරයක්ද එල්ල
කරමින්, සාම සාධක හමුදා ලංකාවට ගොඩ බැස්සීමට කටයුතු කළේය. ගාමිණි දිසානායක මහතා ඉන්දු ලංකා ගිවිසුමේ කටයුතු වලදි ජයවර්ධන මහතාගේ පරිවාර අමාත්‍යවරයා වනවිට ප්‍රේමදාස මහතා එය දැඩිව දෝෂාරෝපනය කළේය. ඔහු කෙතරම් ඉන්දියානු මැදිහත්වීමට විරුද්ධ වූවාද කිවහොත්, ලංකාවට බලෙන් ඇතුළු වී ගුවනින් ආහාර දැමූ අවස්ථාව ප්‍රේමදාස මහතා උපහාසයෙන්, කෝපයෙන් හා පිළිකුලෙන් මෙසේ නිර්වචනය කළේය.

“කක්කුස්සිය හදලා දොර දාලා දෙනකල් ඉවසිල්ලක් තිබුනේ නැහැ… ඇවිල්ලා මිදුලේ පහරලා ගියා…”

ප්‍රේමදාස මහතාගේ මෙම වදන් ඉන්දියාව අමතක කළේ නැත.

මේ කාලයේ මැතිණියගේ සටන් පාඨය අපූර්වය. එනම් තමාගේ ඉතාම කිට්ටු යෙහෙළිය වූ ඉන්දිරා ගාන්ධිගේ පුත් රජීව් ගාන්ධි සමග තේ මේසයේදි ගැටළුව තමාට විසඳාගන්නට හැකි බව ඇය පුන පුනා ඉග’ි කළාය. ගිවිසුම අත්සන් කරන්නට පැමිණි රජීව් ගාන්ධි හට අනුර බණ්ඩාරනායක ලියුමක්ද යැව්වේය. එයද රාජ්‍ය තාන්ත්‍රික මටට්මෙන් නොව, මචං කට් එකෙනි. මේ අනුව මැතිණිය දිගින් දිගටම පැවසුවේ ඉන්දු ලංකා ගිවිසුම ඉරා දමා, ආක්‍රමික ඉන්දියානු සාම සාධක හමුදාව පළවා හැරිය හැක්කේ තමාට පමණක් බවය.

මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණද හොරෙන් හොරෙන් බර තැබුවේ මැතිණියටය. ඒ ඉන්දියානු විරෝධය නිසාවෙනි. බොම්බයි ලූණු ටිකක්, බජාජ් ත්‍රිරෝද රථයක් මිළදි ගත්තොත් එසේ මිළදී ගත්එකාව මරා දමන තරමට ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු විරෝධි දේශප්‍රේමය ඒ අවස්ථාවේ වර්ධනය වී තිබිණි. මෙවන් තත්ත්වයක් යටතේ ඉන්දියානු විරෝධි ජනප්‍රිය මතවාදය මධ්‍යස්ථව නොව, තමාගේ පෞද්ගලික අභිප්‍රාය අනුව ගැඹුරින්ම වැළඳ ගන්නට ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය විසින් ඔහුට බලන වටපිටාවක් දක්වා වර්ධනව විය. තමා බලයට පැමිණි විගස ඉන්දියානු හමුදා පන්නා දමන බව ප්‍රේමදාස මහතා මහජන රැළියකදි ප්‍රකාශ කළේ ඒ අනුවය.

සියල්ල අවසානයේ ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේය. ඔහුගේ පිලිවෙත් ගැඹුරින් අපි විමසා
බැලිය යුත්තේ එතැන් සිටය. ඔහු රාජ්‍ය නායකයෙකුට නෙැගලපෙන අන්දමින් නම්‍යශීලි වෙමින් අවි බිම තබා සාකච්ඡාවට ප්‍රවේශ වන ලෙස රෝහණ විජේවීරගෙන් අයැද සිටියේය. ඒ නිකම්ම නොවේ. බලවත් කැබිනට් අමාත්‍ය ධූරයක්ද සමගිනි. විශ්වාසය තහවුරු කරගනු වස් ඔහු වහාම හදිසි නීතිය ඉවත් කරමින්, එවකට රැඳවුම් නියෝග මත සිටි දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සගයන් 1000ක් එකවර මුදා හැරියේ ආරක්ෂක අංශ පවා තැතිගන්වමිනි. නමුත් ප්‍රේමදාස මහතා ඒ අවදානම ගත්තේය. අවාසනාවකට ප්‍රේමදාස මහතාගේ නම්‍යශිලිතාවය, ඉවසීම ජනතා විමුක්ති පෙරමුණ අවතක්සේරු කළේය. ප්‍රේමදාස මහතා තමාට බය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ වහසි බස් දෙඩුවේය. අන්තර් ජාල, ඍජු දුරකතන සම්බන්ධකම් නොමැති ඒ වකවානුවේදි ඉරිදා ලංකාදීප පුවත්පත රෝහණ විජේවීර සමග තැපැල් මාර්ගික සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේය. විරේවිරගේ ආකර්ෂණිය කරුණු දැක්වීම මත බොහෝ දෙනෙක් විශ්වාස කළේ ප්‍රේමදාස ආණ්ඩුව අල්ලා ගැනීමට තවත් පෝය දිනක්වත් ගත නොවන බවයි.

මෙයට සමාන්තරව ඉන්දියානු සාම සාධක හමුදා හා කොටි කණ්ඩායම අතර ගැටුම් උග්‍රවෙමින්
තිබිණි. ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය ඉන්දියානු සාම සාධක හමුදාවේ ආශිර්වාදය ලබාගෙන තිබුන අතර, ජනතා විමුක්ති පෙරමුණ හා කොටි සංවිධානය අතරද යම් යම් යම් සුළු මට්ටමේ ගනුදෙනු සිදුවීම ඇරඹි තිබිණි. මේ තත්ත්වය යටත් සතුරන් දෙදෙනෙකුට එකවර මුහුණ දීමට වඩා වඩාත්ප්‍රබල සතුරා පරාජය කරන තෙක් අනෙක් ෂතුරාව හොඳින් තබා ගැනීම ප්‍රේමදාස මහතා කළ යුතු විය. ඉන්දියානු හමුදා පන්නන්නේ කවදාදැයි මැතිණියත්, ජනතා විමුක්ති පෙරමුණත් දිගින්දිගටම ප්‍රශ්න කළහ. ප්‍රේමදාස මහතා සූක්‍ෂම උපාය මාර්ගයකට යොමු වූයේ මෙවන් පසුබිමකදිය.

4
මේ අනුව කොටි කල්ලිය හොඳින් තබාගැනීමටත්, ඔවුන් ලවා ඉන්දියානු සාම සාධක හමුදාවට
පහර දීමටත් ප්‍රේමදාස මහතා උපායමාර්ගිකව යොමු විය. එහිදි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවම ඔහු යොදවා ගත්තේ දකුණේ අරගලය මැඩපැවැත්වීම වෙනුවෙනි. එබැවින් කොටි කල්ලියට මුදල් හා ආයුධ ලබාදීම උපාය මාර්ගිකව ඔහු කළ කටයුත්තකි. ( මේ ආකාරයට හිට්ලර් සමග ගිවිසුමක්ඇතිකර ගන්නට සොවියට් දේශයේ ස්ටාලින්ද උපායමාර්ගික වූ බව ඉතිහාසයෙන් දැකිය හැකිය.

ගිවිසුම අත්සන් කරන විට, කෙදිනක හෝ හිට්ලර්ගේ ජර්මානු හමුදා තම රටට කඩාගෙන පනින බව ස්ටාලින් නොදැන හිටියා නොවේ. එහෙත් ඔහුට අවශ්‍ය කළේ ඒ මොහොතේ, තමා ශක්තිමත්වන තුරු, හුස්මක් ගන්නට අවකාශයක් සලසා ගන්නා තෙක් කිසියම් කාලයක් ලබාගැනීමටය. ප්‍රේමදාස අනුගමනය කළේද එවැනිම වූ උපාය මාර්ගයකි.) ඔහුට අවැසි වූයේ දකුණේ තත්ත්වය ඉතාම ඉක්මනින් සමනය කර, නැවත උතුරට ප්‍රවේශ වීමටය. මේ බැව් පටු අර්ථයෙන් අර්ථ දක්වමින් ප්‍රේමදාස චරිතයට පහරදීම ශිෂ්ටසම්පන්න දේශපාලනයකට කෙතරම් යෝග්‍යදැයි විමසා බැලීම වැදගත්ය.

ඉන්දියානු හමුදාව පිටමං කරන්නට ප්‍රේමදාස මහතා හට සිදු වූයේ ඉන්දියානු විරෝධයක්
මහාසම්මත ජන සමාජය තුළ රෝපනය කරන්නට සියලු දේශපාලන පක්ෂ කටයුතු කර තිබූ
නිසාවෙනි. එය ඔහුගේ මැතිවරණ පොරොන්දුවක්ද වූ නිසාය. එසේම 50,000ක් මරා දැමූ බවට ප්‍රේමදාස මහතා හට නගන බරපතල චෝදනාවද මෙහිදි විවාදාත්මකය. එය සාපේක්ෂව ගතහොත් 1971 කැරැල්ලට වඩා බොහෙවින් බිහිසුණු වූවකි. එසේම ප්‍රේමදාස මහතා 71 සමගි පෙරමුණු ආණ්ඩුවට වඩා ඉතාම නම්‍යශිලිව කටයුතු කරන්නට කැමැත්ත පළ කළ මොහොතක ජනතා විමුක්ති පෙරමුණ ඒ අවස්ථාව පැහැර හැරි මොහොතකි. එවන් මොහොතක, ත්‍රස්තවාදයට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම හැරෙන්නට ප්‍රේමදාස මහතාට කළ හැකි අන් කිසිවක් නැත. ප්‍රේමදාස මහතාට නොව, කිසිම රාජ්‍ය නායකයෙකුට ඒ අවස්ථාවේදි වෙනත් විකල්පයක් නොමැති බව පැහැදිලිය. එහිදි අමානුෂික මරණ සිදු වූ බව පැහැදිලිය. දේපොල විනාශ වූ බව, ජීවිත කඩා වැටුන බව හා වද හිංසාවන් මුදා හැරුන බව සත්‍යයකි. යුද හමුදාවක් සිවිල් නීතියෙන් ඔබ්බට ගොස් කැරළි මර්දනයක් කරන විට එය සාමාන්‍ය තත්ත්වයක් බව අප වටහා ගත යුත්තේ වෙනත්විදේශ නියැදිවලින් නොව, ලංකාවේම සිදු වූ සිදුවීම් වලිනි. කොටින්ට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාව මුදාහැරි අවස්ථාවේදිද එවැනි දේ අනන්තවත් සිදු විය. නමුත් ඒ සියල්ල අපි දරාගත යුත්තේ දෙමළ-සිංහල භාවයකින් නොව, රටක ප්‍රජාතන්ත්‍රවාදය, භෞමික අඛණ්ඩතාවය හා ස්වාධිපත්‍යයට අන් සියල්ලටම වඩා පරම වටිනාකමක් ඇති බව පිලිගනිමිනි. මේ හැරෙන්නට 1971 දී මැතිණිය ඉතාම ඉවසිල්ලෙන් මවක් ලෙස, කටයුතු කරමින් තරුණයන් යහ මගට ගත්තායැයි
කිසිවෙක් තර්ක කරන්නේ නම් එය හාස්‍යයට කරුණක් බව තේරුම් ගත යුතුව තිබේ. සත්‍යය නම්මර්දනය එහිදීද අමානුෂික වූ බවය. එහෙත් යථාර්ථය එහිදි පැවති විරෝධයට වඩා සිය දහස්ගුණයක විරෝධයක් 1988-1989 දී ගොඩනැගුන බවය. එසේම නම් මර්දනයද, භිෂණයද ඒ ආකාරයෙන්ම ගුණාකාර වීම අසාමාන්‍ය දෙයක් නොවේ.

ප්‍රේමදාස මහතාට 1991 වසරේදි එල්ල වන දෝෂාභියෝගයේද අන්තර් ගතව ඇත්තේ රටේ
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ අවංක කැපවීමකට වඩා බලලෝභිත්වය, පෞද්ගලික න්‍යායපත්‍ර හා ප්‍රභූත්තම දේශපාලනය නැවත කරලියට ගෙන ඒමේ ප්‍රයත්නය බව ඒ පිලිබඳව පුළුල්ව බලන අයෙකුට අද මැනවින් තේරුම් ගත හැකිය. මින් අදහස් කරන්නේ ප්‍රේමදාස මහතාගේ කාලය ඉතාම පිරිසිදු, අවංක හා කාර්යක්ෂම පාරිශුද්ධ වූවක් බව නොවේ. නමුත් ප්‍රේමදාස මහතාගේ ගමන්මග නිවැරදි කරගන්නටත්, ඔහුගේ ප්‍රගතිශිලි අදහස් වඩාත් යෝග්‍ය ආකාරයෙන් ජන සමාජයේ යහපත උදෙසා බලගන්වන්නටත් අනෙකුත් බලවේග හට කිසියම් අවකාශයක් තිබිණි. නමුත් එය අතහරිමින් ඔවුන්ට අවැසි වූයේ ප්‍රේමදාස සාධකය දේශපාලනයෙන් ඉවත් කිරීමටය.

5
නින්දා, අපහාස, ප්‍රලාප හමුවේ ප්‍රේමදාස මහතා තුල කෝපයත්, වෛරයත්, වේදනාවත් ඇති වීම අසාධාරණ යැයි කිව නොහැකිය. එය රටේ අවාසනාවට සිදු වූවක් සේම, සියලු පව් ප්‍රේමදාස මහතාගේ කරපිටින් යැවීමේ පටු අරමුණින් යුතුව සිදු වූවකි. එබැවින් ප්‍රේමදාස මහතා කිසියම්දේශපාලන වරදක් කළේද, එහි විශාල වගකීමක් සමාජ ප්‍රවාහයක් මෙන් ඔහු එතැනට තල්ලු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේම ප්‍රභූත්තම කණ්ඩායම් වෙතද යොමු විය යුතුමය. අවසාන වශයෙන් කිව යුතු වන්නේ ප්‍රේමදාස මෙරට දේශපාලනයේ සම්මත සීමාවන් අතික්‍රමණය කළ නායකයෙක් බවය. ඔහු අන් කිසිවෙකුටත් ස්පර්ශ කළ නොහැකි වූ, අන් කිසිවෙක් ඇස නොගැටුන, දිළිඳු භාවය පිටුදැකීමේ අදහසකින් ක්‍රියාත්මක විය. බලය, සම්පත් හා ආර්ථිකය විමධ්‍යගත කිරීමේ අපූර්ව වැඩපිලිවෙල රාශියක් ඔහු දියත් කළේය. ඒවා අතිශයින් සංවේදි හා බිම්ම ට්ටමෙන් ඉවත් කළ නොහැකි තරම් මුල්බැව ගිය ව්‍යාපෘති විය.

ජන සවිය හෝ නිවාස වැඩපිලිවෙල ප්‍රේමදාසගෙන් පසු පැමිණි කිසිදු රාජ්‍ය නායකයෙක් පිටුදැක්කේ නැත. ඔවුන්ද කළේ එය තවත් ආකාරයකට දිගුවක් ලෙස දියත් කිරීමයි. එබැවින් අවසාන වශයෙන් කිව යුත්තේරණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරකම් ලඝු කර දැක්වීමෙන්, නිර්දය ආකාරයට තමන්ට ඇවැසි පරිදි විශ්ලේෂණය කිරීමෙන් සිදුවන්නේ මෙරට දේශපාලන ඉතිහාසය විකෘති වන බව පමණකි.

වජිර කස්තුරි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − ten =