මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දැනුම් දෙයි.

0
751
- Advertisement -
Share

ජුනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

ජුනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන 18 සහ 19 යන දිනවල සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කර තිබේ.

කෙසේවෙතත් මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ අදාල පෙත්සම අද කැඳවනු ලැබුවේය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

එහෙත් මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් නීතිඥ වරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂත්වයක්.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් යන මහත්වරුන් නම් කර සිටියි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මහමැතිවරණයට අදාළව මනාප අංක නිකුත් කිරීමේ කටයුතු හෙට සිදුවීමට නියමිත බැවින් අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතු ආරම්භවීමත් සමඟ ඒ හරහා විශාල සෞඛ්‍යමය තර්ජනයක් මතු වීමට ඉඩකඩ තිබෙන බවයි.

එම නිසා මැතිවරණ කටයුතු පැවැත්වීම අත්හිටුවීමේ අතුරු සහන නියෝගයක් නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සඳහන් කර සිටියේ වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි අතුරු සහන නියෝගයක් ප්‍රකාශයට පත්කිරීම අසීරු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව පවතින බවද අගවිනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නා.

@asian mirror.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 3 =