මහරගම පොහොට්ටු තොරණට යට වුණු සුලාරිගේ කතාව

0
89
- Advertisement -

මැතිවරණ සමය එළැඹීමත් සමඟින් මහාමාර්ග ඇතුළු බොහෝ පොදු ස්ථානවල දේශපාලනඥයන්ගේ පෝස්ටර්, කටවුට්, බැනර් සුලබ දසුනක් බව ඉතිහාසය හොඳින්ම සාක්ෂි සපයයි. පෝස්ටර්, කටවුට්, බැනර්වලින් තොර මැතිවරණ ප්‍රචාරණයක් ගැන මොනතරම් පාරම් බෑවත් එය ගඟට කපන ඉනි මෙනි. ඉදිරි මැතිවරණ සමය එළැඹීමටත් පෙර විශාල දැන්වීම් පුවරුවක් නිසා අකරතැබ්බයක් වූයේ පසුගිය 08 වැනිදා මහරගම නගරයේදීය.

මහරගම නගරයේ ප්‍රධාන මාර්ගය හරහා ඉදිකර තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පුවරුවක් මාර්ගය හරහා කඩා වැටීමෙන් මහමඟ ගමන්ගත් දෙදෙනෙකුට තුවාල සිදුවිණි. එසේම සුඛෝපභෝගි මෝටර් රථයකටද හානි සිදුවුණු අතර තවත් අයෙකුටද තුවාල සිදුවූ බවට සැලවූවත් එය නිල වශයෙන් තහවුරු නොවේ.

මහරගමදී පසුගිය දහවැනිදා පැවැත්වුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සවයකට එහි නායක මහින්ද රජපක්ෂ මහතාගේ සහභාගිත්වය වෙනුවෙන් ඊට සුබපැතුම් එක්කරමින් ඔහුගේ රුව සහිත මහරගම පොදුජන පෙරමුණේ උපාලි කොඩිකාර සහ කාන්ති කොඩිකාර දෙපළගේ රුවද යොදා එම විශාල පුවරුව ඉදිකර තිබිණි.

මෙය සාමාන්‍ය සිදුවීමක් ලෙස හුවා දක්වමින් සමාජයේද එතරම් කතාබහට ලක් නොවූවත් තුවාල වූ තරුණියකගේ තත්වය බැරැරුම්ය. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සයනයක වැතිරි සිටින ඇය දුටු විටනම් එම ඛේදනීය සිදුවීම කෙතරම් බරපතළ ද යන්න එහි ගිය විට දැන ගත හැක. දැන්වීම් පුවරුව සිරුර මතට වැටීමෙන් කොන්දට වූ හානිය නිසා ඇගේ කොන්දෙන් පහළ කොටස අප්‍රාණිකව ඇති බව වෛද්‍යවරුන් පවසති. මේ නිසා ඇයට ඇවිදීමට නොහැකිය.

මෙම අනතුරින් තුවාල ලැබූ ඇය ගාල්ලෙ, රජ්ගම පදිංචි 27 හැවිරිදි සුලාරි ලක්නිමාය. එම අනතුරින් තුවාල ලැබූ ඇගේ පෙම්වතා වූ සුජීව හර්ෂන් එදින සිදුවූයේ කුමක් ද යන්න පැවැසීය.

“ මම එදා ගම්පහ ඉඳලා මහ­ර­ග­මට ආවා. සුලාරි ගාල්ලෙ ඉඳලා මහ­ර­ග­මට ආවා. එයා රට යන්න හිටියේ මහ­ර­ගම ඒජ­න්සි­ය­කින්. ඒකට මෙඩි­කල් කර­න්නත් තිබුණේ එදා­මයි. ඒ වගේම ඇඳුම් වග­යක් ගන්නත් එක්ක­මයි දෙන්නම මහ­ර­ග­මට ආවේ. අපි දෙන්නා උදේ නවය වෙන­කොට මහ­ර­ග­මදි මුණ­ගැ­හුණා. කඩේ­කින් කෑම කාලා ඉන්පස්සේ ඒජ­න්සි­යට ගියා. ලියකිය­විලි ටික අරන් මෙඩි­කල් කරන්න යන්න. ඒ වැඩෙත් ඉවර කර‍ගෙන සපත්තු කඩ දෙක­කට ගියා සපත්තු ගන්න. ඊට පස්සෙ පමු­ණුව පැත්තට යන්නයි ගියේ. වෙලාව දහ­යයි තිහත් එකො­ළ­හත් අතර. ඔය පුව­රුව ගහලා තිබුණ හරි­යෙන් පාර මාරු වුණා විත­රයි. ඒක කඩා­ගෙන වැටුණා. අපි දෙන්නත් යට­වුණා. කාර් එක­ක­ටත් හානි­වෙලා තියෙ­නවා දැක්කා. මට හිතා ගන්න බැරි වුණා මොකද වුණේ කියලා. මටත් තුවාල වුණා. කවු­රු­වත් සුලා­රිව රෝහ­ලට ගෙනි­යන්න ඉදි­රි­පත් වුණේ නැහැ. පාරේ යන ත්‍රීවිල් එකක් නතර කරලා මම සුලා­රිව කළු­බෝ­වි­ලට රෝහල අර­ගෙන ගියා. ඇගේ තත්වය බර­ප­තළ නිසා ජාතික රෝහ­ලට මාරු­කළා. අහිං­සක ඇයට වුණ දේ මට ඉවස ගන්න බැහැ. මං මේ මොහොතේ ඉල්ලන්නේ සුලා­රිට දෙප­යින් නැගි සිටින්න ලෝකෙ කොහේ හෝ රට­කට ගෙනි­හින් ඇය සුව කර­ග­න්න ­උ­දව් කරන්න කියලා. දන්න දන්න අය කිය­නවා නඩු කියන්න කියලා . අපිට නඩු කියන්න සල්ලි නැහැ. දැන්වීම් පුව­රුව කඩා වැටුණ එක සාමාන්‍ය දෙයක් කියලා කවු­රුත් හිතන්නේ. ඒත් සුලා­රිට වෙලා තියෙන දේ කවු­රු­වත් දන්නේ නැහැ.

මට අන්ති­මට කියන්න තියෙන්නෙ මෙච්ච­රයි. අපිට පක්ෂ, විපක්ෂ අදාළ නෑ. සාධා­ර­ණය ඉටු­ක­රන්න.”

ඔහු පව­සන්නේ තම පෙම්ව­තිය වෙනු­වෙන් ඇස නැගි කඳු­ළක් පිස දම­මිනි.

මහ­ර­ගම නග­රයේ තොරණ ඉදි­කිරීමේ ප්‍රධා­නියා වන උපාලි කොඩි­කාර මහතාගෙන් මේ ගැන විම­සී­මක් කළෙමු.


“මහ­ර­ගම තිබුණ අපේ පක්ෂයේ උත්ස­ව­ය­කට මගේ හිත­ව­තුන් පිරි­සක් ඒ තොරණ ගැහැව්වේ. සෙන­සු­රාදා රෑ ගැහැව්වේ. මං හිතන්නෙ සුළ­ඟට වැටෙන්න ඇත්තෙ. එහෙම නැත්නම් කවු­රු­හරි කඩා­ක­ප්ප­ල්කා­රින් පිරි­සක් මොක­ක්හරි හප්පලා කඩලා දාන්න ඇති. මේක සාමාන්‍ය සිදු­වී­මක්. මීට පෙර ගම්උ­දා­වේදි, දැයට කිරුළ වැනි දේව­ල­දීත් මෙවැනි දේ වෙලා තියෙ­නවා. මේ සිද්ධි­යෙන් පාරේ ගිය ගෑනු ළම­යෙක් යට­වෙලා කොන්ද තුවාල වෙලා… ජාතික රෝහලේ ප්‍රති­කාර ගන්නවා. ඒ ළම­යට අපෙන් කෙරෙන්න තියෙන සෑම දෙයක්ම කර­නවා”

සුලා­රිට අත්වූ ඉර­ණම නිසා තම පවු­ලද කබ­ලෙන් ළිපට වැටි ඇතැයි රෝහල් වාට්ටුවේ සිටින ඇය බලාගන්නා සුලා­රිගේ මව වන නිල්මිණි සම­න්තිකා කතා කර­න්නට වුයේ හැඬු කඳු­ළෙනි.

“මට දිය­ණි­යන් දෙන්නෙක් ඉන්නවා. දොස්තර මහ­ත්තුරු නම් කියන්නෙ මෙයාට සද­හ­ටම ඇවි­ද­ගන්න බැරි­වෙයි කියලා. එහෙම වුණොත්නම් මට ඉඳලා වැඩක් නෑ. මේ දෙන්නගෙ තාත්තත් නැ. මම රට­ව­ල්ව­ලට ගිහින් දහ­දුක් විඳලා දුවලා දෙන්නව ලොකු මහත් කළේ. ලොකු දුව ආබා­ධි­ත­යෙක් වුණොත් මම ජීවත් වෙලා මොක­ටද?. දුව කිසි දෙයක් කන්නෙ බොන්නෙත් නෑ. එයා රට යන්න හිටියේ.


එයාට ඕන වුනේ රට ගිහින් ගෙයක් හදා ගන්න.. අන්ති­මට මොකක්ද මේ අපට පාත්වුණ හෙණ­ගෙ­ඩිය. උපාලි කොඩි­කාර මහ­ත්මයයි එයාගේ නෝනයි ඇවිත් දරුවා බලලා ගියා. මගෙන් ඇහැව්වා මොකක්ද කෙරෙන්න ඕනෙ කියලා. මං කිව්වා මට සල්ලි එපා. මගේ දරුවා හිටිය තත්ත්ව­යට පත්ක­රලා දෙන්න කීවා. ඒ ඇරෙන්න වෙන කවු­රු­වත් නම් මගේ දරු­වට වුණේ මොකක්ද කියලා බලන්න ආවේ නැහැ.“

අප සුලා­රිව බැලී­මට ජාතික රෝහ­ලට ගිය දින ඇය ශල්‍ය­ක­ර්ම­ය­කට භාජ­නය කිරී­මට නිය­මි­තව සිටි­යාය. ඒ අනුව ඇයගේ තත්ත්වය කෙබ­ඳුද යන්න එම ශල්‍ය­ක­ර්ම­යෙන් පසු යමක් පැවැ­සිය හැකි බව රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් කීවේය.

ඕනෑම ප්‍රචා­රණ පුව­රු­වක්, බැන­ර­යක් පොදු ස්ථාන­යක ප්‍රද­ර්ශ­නය කර­න­වා­නම් ඊට අව­සර ගත යුතු­මය. මේ විශාල දේශ­පා­ලන දැන්වීම් පුව­රුව ප්‍රද­ර්ශ­න­යට මහ­ර­ගම නගර සභා­වෙන් අව­ස­ර­යක්ද ගෙන නැති බව එහි නග­රා­ධි­පති ටිරාජ් ලක්රු­වන් පිය­රත්න මහතා සිළු­මි­ණට කීය.

“දැන්වීම් පුව­රුව ඉදි­කි­රීම සඳහා අපෙන් කිසිම අව­ස­ර­යක් ගත්තෙ නැහැ. සාමා­න්‍ය­යෙන් මාර්ග­යක ඕනෑම ප්‍රචා­රණ දැන්වී­මක් පළ කර­නවා නම් ආර්. ඩී. ඒ එකෙන්, නගර සභා­වෙන් අව­සර ගත­යු­තුයි. නමුත් එහෙම කිසිම දෙයක් සිදු වුණේ නැහැ. මේ ගැන මගෙන් මහ­ර­ගම පොලි­සිය ප්‍රකා­ශ­යක් ලබා­ගත්තා.” නග­රා­ධි­පති තුමා පව­සන්නේ එසේය.

අව­ටින් කළ සොයා බැලිම්වලදි අස­න්නට ලැබුණේ මෙවැනි කතාය.

“අපිත් දැක්කා ඕක හද­නවා. ඒ මිනිස්සු හොඳ­ටම බීලා හිටියේ. පොළො­වට මුකුත් සවි කරන්නේ නැති ව තමයි ඕක ඔතැන සවි කළේ. ඒ අය ඔය වැඩේ කිසිම වග­කී­ම­කින් කළේ නැහැ.”

පුව­රුව සවි කරනු දුටු­වෙකු පැවැ­සුවේ එවැනි කතා­වකි.

දැන් සියල්ල සිදු වී හමා­රය. සිදු වූ වැරැද්ද යළී නිවැ­රදි කිරී­මට බැරිය. නමුදු අස­රණ සුලා­රිට දෙපයින් නැගී සිටී­මට හැකි­යාව ලැබෙන්නේ නම් එය වාස­නා­වකි. පිට රටක හෝ ගොස් සුව­වී­මට ඇයට හැකි­යා­වක් ආර්ථික ශක්ති­යක් නැත. මෙයට වග­කිව යුත්තන්ගේ යුතු­කම මේ අව­ස්ථාවේ ඇයට පිහිට වීමය.

අමිල මලවිසූරිය ( සිළුමිණ ) 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =