මංගල; ඔබට සුබ උපන්දිනයක්..!

0
76
- Advertisement -

මංගල; ඔබට සුබ උපන්දිනයක්..!

ඔහුගේ දේශපාලනය භාවිතය පිලිබද එතරම් පැහැදිීමකින් නොසිටිමි. නමුත් ඔහු සමාජ ක්රියාකාරකම් තුළදි ඉතාම ශිෂ්ටසම්පන්න මිනිසෙක් බව මගේ හැගීමයි. ඔහු තමාගේ මතය වෙනුවෙන් නිරන්තයෙන්ම අභීතව පෙනී සිටියේය. නිදසුනක් වශයෙන් ඔහු නැතිනම් චන්දරිකා බලයට පැමිණෙන්නේ නැත. ඒ මැතිණියගේ කණ්ඩායමට විරුද්ධව කැරැල්ල දියත් කරන්නට පෙරමුණේ රාළ ඔහු වූ නිසාය. පසුව මහින්ද-චන්දිරිකා අරගලයේදි මහින්ද ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරන්නට මංගල තරම් පක්ෂයේ කිසිවෙක් වෙහෙසුනේ නැත.

එසේම මුලින්ම මහින්ද සමග ගැටෙමින් එළියට ආණ්ඩුවෙන් එළියට බැස්සේ ඔහුය. අනුර බණ්ඩාරනායකටවත් එබදු ශක්තියක් තිබුනේ නැත. ” මැංගි… ඔයාට මාර හයිය පිටකොන්දක්නෙ තියෙන්නෙ… කොහොමද ඇමතිකම් නැතිව ඉන්නේ…? “” යනුවෙන් අනුර මංගලගෙන් විමසූ බව එවකට පුවත්පත් වල පළවිය.

යුද්ධයකින් තොරව දේශපාලන විසදුමකින් උතුරේ ජනවාර්ගික අරගලය නිමා කරගන්නට මංගලට දැවැන්ත අවශ්‍යතාවක් තිබුණි. නමුත් ඔහුගේ මතය බහුතර මතය නොවුනා සේම, එසේ වූ පමණින් ඔහු තම මතය අතහැරියේ නැත. ඔහු වරෙක රුදුරුය. වරෙක සොදුරුය. ඔහු වරක් මහින්දගේ රාජපක්ෂ කදවුර හම්බන්තොටින් පරාද කරන්නට ප්රාදේශිය සභා චන්දයකදි සියුම්ව කටයුතු කළේය. ඒ ඔහු චන්දිරිකාගේ සමීපයේ සිටි අවස්ථාවකය. ” මාව හම්බන්තොට පරාද කළේ සජිත් නෙමෙි… අපේම පක්ෂේ අය…” මහින්ද පසුව පුවත්පත් වලට කීවේ එසේය. එසේම ඔහුගේ ” මිස්ටර් බීන් ” පොස්ටරයෙන් රනිල්ට ලබාදුන් ප්රතිරූපයෙන් මිදෙන්නට රනිල්ට අදටද හැකියාවක් ලැබී නැති බව පැහැදිලිය. ඒ ඔහුගේ රුදුරු ස්වභාවයයි. එසේම මහින්දව ජයග්රයනය කරවීමට ගත් වෙහෙස තුළ ඔහුගේ දේශපාලන භාවිතයේ සියුම් බව පැහැදිලිව දැකිය හැකිය.

මැකියාවේලි දේශපාලනය ඉතාම ප්රායෝගිකව අත්හදා බලමින් උපක්රමශිලි එය ශුර ලෙස ක්රියාවට නැංවීමට මංගල සූක්ෂමව කටයුතු කළේය. ඔහුගේ ඇති සුවිශේෂම ගුණයක් වන්නේ ඔහු නිරන්තරයෙන්ම උපක්රම නිර්මාණය කළේ තමාට බලය ලබාගැනීමට නොව, අන් අයට බලය ලබාදීමට වීමයි. එසේම එසේ බලයට පැමිණෙන්නන්ගෙන් ඔහු කිසිදු ප්රතිලාභයක් බලාපොරොත්තු නොවූ නිසාය. චන්දරිකාගෙන් ආරම්භ වූ එය අවසානයේ මෛත්රිපාල සිරිසේන දක්වාම අඛණ්ඩව ගමන් කළේය. අවසානයේ තමාගේ දැවැන්ත මෙහෙවරකින් බලයට පැමිණි සිරිසේනට ” බල්ලා ” යැයි ප්රසිද්ධියේ කියන්නට තරම් ශක්තිමත් පිටකොන්දක් මංගලට තිබිණි. එබදු ඍජු දේශපාලකඥයෝ අද ලංකාවේ විරලය.

චන්දරිකා පාලන සමයේදි ඇය විසින් ඇතිකරගත් අනන්ත අප්රමාණ වූ ගැටළුවලදි මංගල නොඉන්නට ඇයගේ දේශපාලන ගමන්මග මෙවන් සන්සුන් ආකාරයකට අවසන් නොවී එය ඛේදවාචකයක් වන්නට විශාල ඉඩක් තිබූ බව පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. නමුත් ඇය සමගද ඔහු නොරොක් විය. ඒ පුද්ගලික කරුණක් නිසා නොව, මහින්දට ජනාධිපති අපේක්ෂකකම නොදෙන්නට ඇය තැත් කිරීම නිසාය. මහින්ද බලයට ගෙනෙන්නට අපමණ දර දිය ඇදි ඔහු පසුව මහින්ද සමගද ගැටෙමින් ආණ්ඩුවෙන් ඉවත් වූයේ පුද්ගලික ගැටුමක් නිසා නොව, අමාත්‍යවරුන්ගේ විෂය පථයන්ට වෙනත් පුද්ගලයන් ඇගිලි ගැනීමට එරෙහිව විරෝධතාවය පෙන්නුම් කරමිනි.

අද සිටින ‌ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් අතර, රනිල් හැරුන විට පොතපත කියවන හා දැනුම සොයා යන දේශපාලඥයෙක් සිටිනවා නම් ඒ අතරේ මංගලද මූලික තැනක සිටියි. මේ නිසා ඔහු නිරතුරුවම යාවත්කාලීනය. ලෝකයේ නව දේශපාලන භාවිතයන් පිලිබදව ඔහු දැනුවත්ය.
ඔහු කිසිම විටෙක ආගමික නායකයන් පසුපස හෝ දෛවඥයන් පසුපස ගියේ නැත. ඒ සම්බන්ධයෙන් ඔහු සංඝ සමාජය සමගද ගැටුනේය. ඉන් එකක් වූයේ පුංචි බොරැල්ලේ බෝධි ප්රකාරය වටා තිබුන සංවෘත අට්ටාලය ඉවත් කර, ඒ වටා සැමට වන්දනා මාන කළ හැකි පරිශ්රයක් ඉදිකිරීමේ සිදුවීමයි. මංගල එහිදි කාගෙන්වත් සමාව ඉල්ලුවේ නැත. කා සමගවත් ගැටුනේද නැත. එහෙත් තමාගේ දේශපාලනය ඇත්තේ සිවුර, ලෝගුව හෝ වෙනත් ආගමික සංකේත සමග නොවන බව මැනවින් පෙන්නුම් කළේය.

ඉතාම අපකීර්තිමත් ” වයඹ පලාත් සභා චන්දය ” චන්ද්රිකා ජයග්රහණය කරද්දි එයට විරුද්ධව නැගී සිටියේ මංගලය. ඔහු එය ඉතාම තදින් විවේචනය කළ අතර, ඉන් පදුව පැවති දකුනේ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තම පක්ෂයේ කිසිදු පිටස්තර දේශපාලකයෙකුට එයට සහභාගි නොවන ලෙස දැනුම් දුන්නේය.

මේ සියල්ලෙන් මා අදහස් කළේ ඔහු ඉතාම ‌සුදෝසුදු දේශපාලකයෙක් බව නොවේ. නමුත් උපක්රම නිර්මානය හා භාවිතය ගත් කළ ඔහු බෙහෙවින් ඉදිරියෙන් සිටින බව බව පැහැදිලිය. ඔහුගේ මතවාද හෝ ක්රියාකරකම් නිවැරදිම නොවන්නට පුලුවන. එහෙත් ඔහු ඒවා වෙනුවෙන් පෙනී සිටින්නට බිය නැත. නව දේශපාලන ගමන් මාර්ග සොයා යන්නට මංගල තුළ ඇති සුවිශේෂ ලක්ෂණයද මෙහිදි අපි සැලකිල්ලට ගැනීම වැදගත් කරුණකි.

අද්‍යතන මජර දේශපාලනය තුළම ඔහු සිටි බව මම පිලිගනිමි. එහෙත් මා ඔහු කෙරෙන් දකින සුවිශේෂ ගුණය වන්නේ ඔහු ඒ මජර ක්රමය තේරුම් ගනිමින්, එහි භයානකත්වය ගැනද, අස්ථාවරත්වයචද තේරුම් ගනිමින් එයින් පුද්ගලික ප්රයෝජන ගැනීමට වඩා එය වෙනස් කරන්නට සක්රියව දායක වන අයෙකි. මංගල සමරවීර මහතානෙණි. ඔබට සුබ උපන් දිනයක්…!

වජිර කස්තුරි.