“පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ බොරු. සම්පායෝ අත් අඩංගුවට ගැනීමේ සිදුවීම සම්පූර්ණයෙන්ම රගපෑමක්.” නීතිපති චෝදනා කරයි.

0
180
- Advertisement -
Share

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ බොරු.
සම්පායෝ අත් අඩංගුවට ගැනීමේ සිදුවීම සම්පූර්ණයෙන්ම රගපෑමක්.”
නීතිපති චෝදනා කරයි.

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීම මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ අනුරුද්ධ සම්පායෝ එක්වී කළ සාමූහික රඟදැක්වීමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා වෙත ලබාදුන් සී.සී.ටී.වී. දර්ශන සහිත වීඩියෝ පටයකින් අනාවරණය වී තිබේ.

ඒ අනුව අනුරුද්ධ සම්පායෝ නමැති සැකකරුට වරෙන්තු ක්‍රියාත්මක කිරීමේදී මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියා කලාපය සහ අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ සාර්ථක බුද්ධි මෙහෙයුමකින් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබේ.

නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබාදුන් උපදෙස් පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙසේ පැවසුවාය.

‘‘මෙම සැකකාර අනුරුද්ධ සම්පායෝ යන අය පොලිස් භාරයට ගත් ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශන අනුව මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පොලිස් ජීප් රථයකින් ද, ඊට පිටුපස වෑන් රථයකින් සම්පායෝගේ සහෝදරයා ඇතුළු පිරිසක් පැමිණෙයි. සම්පායෝ එම ස්ථානයට ළඟා වන තෙක් ඔවුන් රැඳී සිටින ආකාරයත් නිරීක්ෂණය වුණා.

ඊට පසුව අනුරුද්ධ සම්පායෝ රතු පැහැති ඩිස්කවරි ස්පෝර්ට් වර්ගයේ ජීප් රථයකින් එම ස්ථානයට පැමිණෙනවා. ඔහු එම රථයෙන් බැස මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා සිටි රථය අසලට ඇවිද යන ආකාරයත් එම දර්ශනවල සටහන් වී තිබුණා. එම අවස්ථාවේදී අනුරුද්ධ සම්පායෝ තම ජංගම දුරකථනයෙන් යමෙකු අමතමින් සිටි ආකාරයත්, ඉන් අනතුරුව දුරකථන ඇමතුම මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට කතා කිරීමට ලබා දෙන ආකාරයත් පෙනී ගියා.

තවද මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා, අනුරුද්ධ සම්පායෝ නමැත්තාගේ ශරීරයට අත පාමින් ඔහු සුහදව පිළිගන්නා ආකාරයත්, හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව එය අත්අඩංගුවට ගැනීමක් නොව වරෙන්තුකරුවකු පූර්ණ සැලැසුමක් සහිතව සාදරයෙන් පිළිගැනීමක් බව සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම පුද්ගලයකුට පැහැදිලි වන කරුණක් බවට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නා.

එසේම මෙම සී.සී.ටී.වී. දර්ශන නැරැඹීමේ දී පෙනී ගිය තවත් කරුණක් වනුයේ මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා, අනුරුද්ධ සම්පායෝ නමැති සැකකරු පොලිස් ජීප් රථයේ පිටුපස අසුනේ රඳවා ගනිමින් යම් පුද්ගලයකු එතැනට පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් බලා සිටින බවයි.

එම අවස්ථාවේ දී ඔවුන් සතුටු සාමීචියේ යෙදෙමින් සිටින අයුරුත් පොලිස් ජීප් රථයට පිටුපස නවතා තිබූ තවත් වෑන් රථයකින් පැමිණි කිහිප දෙනකුට මාංචු රහිතව වාඩි වී සිටින අනුරුද්ධ සම්පායෝ නමැති සැකකරු සමග නිදහසේ හැසිරීමටත්, කතා කිරීමටත් ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබෙන තත්ත්වයක් නිරීක්ෂණය වුණා.

එසේම ඔවුන් යම් කාලයක් එම ස්ථානයේම රැඳී සිට ඇත්තේ එක් මාධ්‍ය ආයතනයක මාධ්‍යකරුවකුගේ පැමිණීම අපේක්ෂාවෙන් බවට සී.සී.ටී.වී. දර්ශන බැලීමේ දී මනාව පැහැදිලි වන බව නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

එලෙස මාධ්‍ය ආයතනයකින් පුද්ගලයකු පැමිණෙන තෙක් කල් මැරූ ඔවුන් එම මාධ්‍යවේදියාගේ ජංගම දුරකතනයෙන් මාධ්‍යට කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්නේ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින්මය.

මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් 2020 අගෝස්තු 02 වැනි දින කරන ලද සාර්ථක බුද්ධි මෙහෙයුමකින් අනතුරුව අනුරුද්ධ සම්පායෝ නමැති සැකකරු අත්අඩංගුවට ගත් බවට මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා සටහන් තබා තිබුණ ද එය මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගැනීමක් නොවන බවට විමර්ශනවල දී සහ සී.සී.ටී.වී. දර්ශන නැරැඹීමේ දී අනාවරණය වී තිබෙන නිසා මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට විරුද්ධව විමර්ශනයක් සිදු කර ඒ සම්බන්ධයෙන් නොපමාව කරුණු දක්වන ලෙස දැනුම් දුන්නා.

අදාළ සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ පිටපත් ආරක්ෂක ලේකම්වරයාට, ජාතික පොලිස් කොමිසමට, මහෙස්ත්‍රාත්වරියට ලබා දී තිබෙනවා.

•ඉෂාර රත්නකාර / arunaEpaper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + eight =