පාස්කු ප්‍රහාරය නිසා ලංකාවේ පුරවැසියන් තිදෙනෙකුට ඩුබායි උසාවියෙදී සිර ඳඩුවම් නියම වෙයි

0
683
- Advertisement -

අප්‍රේල් මස 21 වැනිදා අපේ රටේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවියක පළ වූ ඡායාරූපයක් හුවමාරු කර ගත් බව කියන මෙරට තරුණයන් තිදෙනකුට ඩුබායි අධිකරණය විසින් මේ වන විට සිරදඬුවම් නියම කර ඇත. ඒ ඔවුන්ට ගෙවීමට නියම කර ඇති රුපියල් ලක්ෂ 08කට ආසන්න දඩ මුදලක් නොගෙවීම හේතුවෙනි.

ඩුබායි අධිකරණය විසින් සිරදඬුවම් නියම කරනු ලැබ ඇත්තේ මහවැව – තොඩුවාවේ පදිංචිකරුවකු වන ඩබ්ලිව්. රමේෂ් ප්‍රනාන්දු සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු වන ගාල්ලේ පදිංචිකරුවකු වන විශ්ව ද සිල්වා සහ මඩකළපුවේ පදිංචි ගුණදාස් ඩිරෝන් යන අයවලුන්ටය.

ඉන් අයෙක් ඩුබායිහි රජයේ සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරියකු ලෙසත් දෙදෙනකු එම හෝටලයේම ජීවිතාරක්ෂකයන් ලෙසත් සේවය කරමින් සිට ඇත.

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ගුණදාස් ඩිරෝන් නමැති ආරක්ෂක නිලධාරියාගේ ඥාති දියණියන් දෙදෙනකු මඩකළපුව දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම දරුවන් මිය ගොස් සිට ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් මෙම තරුණයාගේ මුහුණුපොතට ලැබී ඇත. ඔවුන්ද එය හුවමාරු කර ගැනීමට කටයුතු කර ඇත. ඒ තම රටේ සිදුවූ විපත හේතුවෙන් ඇති වූ වේදනාව නිසාය.

ඩුබායි පොලිසිය විසින් පසුගිය නොවැම්බර් මස 04 වැනිදා ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේදී මෙකී තරුණයන් තිදෙනා තම ජංගම දුරකථනවල පාස්කු ප්‍රහාරයට අදාළව තිබූ ඡායාරූප මුහුණුපොතට ඇතුළත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එරට අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර එදින අධිකරණය විසින් රියාල් ලක්ෂ 05 බැගින් දඩ මුදලක් නියම කර ඇත.

එම දඩ මුදල ගෙවීමට තරුණයන් අපොහොසත් වීම නිසා ඔවුන්ව අවුරුදු 3 1/2ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද එරට අධිකරණය නියම කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා මහවැව – තොඩුවාවට ගිය අපට එසේ සිරදඬුවම් නියම වී සිටින රමේෂ් ප්‍රනාන්දුගේ මව වන මේරි ප්‍රියංගිකා ප්‍රනාන්දු (48) මහත්මිය හමු වූ අවස්ථාවේ හැඩූ කඳුළින් මෙසේ පැවැසුවාය.

“මගේ මහත්තයා ඉවෝනි දීප්ති. අපිට දරුවෝ දෙන්නකු ඉන්නවා. ලොකු පුතා තමයි දැනට ඩුබායිවල සිරදඬුවම් විඳින්නේ. ස්වාමි පුරුෂයා වෘත්තියෙන් ධීවර කාර්මිකයෙක්. එයා මුහුදු ගිහින් හොයා ගන්න කීයක් හරි වියදම් කරලා තමයි පුතාටයි, දුවටයි ඉගැන්නුවේ. පුතා ගෙදර ඉන්න කාලෙත් ආගම දහමට ළැදියි. තොඩුවාව පාසලට යන කාලේ පාන්දරම යන්නේ පල්ලියට. පල්ලි ගිහින් යාඥා කරලා තමයි පුතා පාසල් ගියේ. නොවරදවාම සෑම ඉරිදා දවසකම පුතා පල්ලි යනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුතා හිටියේ හරිම වේදනාවකින්. අපිත් එක්ක දුරකථනයෙන් කතා කරපු ඇතැම් දවස්වල පුතා අඬලත් තියෙනවා. ‘ඇයි අම්මේ අපිට මෙහෙම වුණේ’ කියලා අනන්තවත් අහලා තියනවා.

දැනට සිර ගතවී ඉන්න දරුවෝ තුන් දෙනාම වැඩ කළේ එකම හෝටලයේ. ඔවුන් නවාතැන් ගෙන සිට ඇත්තේත් එකම කාමරයක. මඩකළපුවේ පදිංචි ඩිරෝන් පුතාගේ ඥාති දරුවෝ දෙන්නෙක් මෙම ප්‍රහාරයෙන් මිය ගියා. එම දරුවන් මිය ගොස් ඇති ආකාරය දැක්වෙන ඡායාරූප අපේ පුතාලට හමු වෙලා තියෙනවා. ඒ ඡායාරූප බෙදා ගත්තා කියලා තමයි ඔවුන්ව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

පසුගිය කාලේ අපේ රටේ යුද්ධයක් තිබුණානේ. ඒ යුද්දෙට සම්බන්ධ නැති පින්තූර මොන තරම් කොටි සංවිධානය විසින් පිටරටවල්වල ප්‍රචාරය කළාද? ඒ කිසිම කෙනකුව කුමන රටකින්වත් අත්අඩංගුවට ගෙන නැහැ. එහෙම නම් ඇයි අපේ රටේ ඇත්තටම සිද්ධ වෙච්ච ම්ලේච්ඡ ප්‍රහාරයක් ගැන එක පින්තූරයක් මුහුණුපොතේ බෙදා ගත්තා කියලා දරුවන්ව අත්අඩංගුවට ගෙන හිර කරලා තියෙන්නේ? ඒ අය කියලා තියෙන්නේ ඒ පින්තූර නිසා ආගමට අපහාසයක් වූණා කියලා.

අපි මේ සම්බන්ධයෙන් මුලින්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළා. ඊට පසුව අති උතුම් කාදිනල්තුමන්ටත්, ජනාධිපතිතුමන්ට වාගේම අගමැතිතුමන්ටත් ලිඛිතව දැනුම් දීමට කටයුතු කළා.

මම ඉතාමත්ම කාරුණිකව සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපේ පුතාලා තුන්දෙනා බේරා ගන්න උදවු කරන්න කියන එකයි. පනවලා තියෙන දඩ මුදල ගෙවන්න අපිට බැහැ. අනෙක් දරුවෝ දෙන්නත් අපි වගේම අසරණයි කියලා දැන ගන්න තියෙනවා. ඒ නිසා අනේ අපිට උදවු කරන්න. පින් සිද්ධ වෙයි. අපේ දරුවෝ තුන් දෙනා බේරලා ආපහු ගෙනත් දෙන්න” ඇය හැඬූ කඳුළින් කියා සිටියාය.

උපුටා ගැනීම – මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =