“පාස්කු ප්‍රහාරයට කලින් ප්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියා කිව්වට, හිටපු ජනාධිපති මෛත්‍රීට ලෙඩක් තියෙන පාටක් නං පෙනුනේ නෑ.” හේමසිරි ප්‍රනාන්දු.

0
191
- Advertisement -
Share
6 / 100

“පාස්කු ප්‍රහාරයට කලින් ප්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියා කිව්වට,
හිටපු ජනාධිපති මෛත්‍රීට ලෙඩක් තියෙන පාටක් නං පෙනුනේ නෑ.”
හේමසිරි ප්‍රනාන්දු.

අප්‍රේල් විසි එක් වන දා පාස්කු ප්‍රහාරය එල්ල විය. ඊට දින පහකට පෙර පෙර, අප්‍රේල් 16 වන දා, එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව බලා පිටව ගියේ ය.

හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට බව පැවසේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති සිංගප්පූරුව බලා පිටත්ව ගිය දවසේ, ඔහු සමග ගුවන් තොටුපළ දක්වා ගිය එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසන්නේ, ප්‍රතිකාර ලැබීමට යන බව පැවසූවත්, කිසිදු රෝගයකින් එතුමා පෙළෙන බවක් තමන්ට නොපෙනුණු බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බලන, ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ බව ඔහු පවසා සිටියේ ය.

කොමිසම හමුමේ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසූ අදහස්, අරුණ පුවත්පත උපුටා දක්වමින් අපි මෙසේ වාර්තා කරමු.

නීතිඥවරයා – ඉකුත් වසරේ අප්‍රේල් 16 වන දින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදෙස් ගතවන අවස්ථාවේ ඔහු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට විදෙස් ගතවන බවක් ඔබට දැනුම් දුන්නේද?

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ජනාධිපතිවරයා විදෙස් ගතවන අවස්ථාවේ මට එවැනි දැනුම් දීමක් කළේ නැහැ.

නීතිඥවරයා – ඉකුත් වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තමන් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සඳහා විදෙස් ගතවූයේ යැයි හිටපු ජනාධිපතිවරයා සාක්ෂි දී ඇති පසුබිමක, ඔහු විදෙස් ගතවීමට පෙර අප්‍රේල් 16 වන දින ගුවන්තොටුපොළට ගිය ඔබ ජනාධිපතිවරයා යම් සෞඛ්‍යමය අපහසුතාවකින් පෙළෙන බව නිරීක්ෂණය කළාද?

හේමසිරි ප්‍රනාන්දු – නැහැ. ස්වාමිනි කිසිම අපහසුතාවකින් පෙළෙන බවක් මට නිරීක්ෂණය වුණේ නැහැ.

නීතිඥවරයා – ඉකුත් වසරේ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ පළමුව සොයා බැලීමට හිටපු ජනාධිපතිවරයා විසින් පත්කළ මලල්ගොඩ කමිටුව සම්බන්ධයෙන් ඔබට යමක් ප්‍රකාශ කිරීමට තිබෙනවද?

හේමසිරි ප්‍රනාන්දු – ස්වාමිනි, මලල්ගොඩ කමිටුව කිසිදු නෛතික බලයක් නැති කමිටුවක්. ප්‍රහාරයෙන් පස්සේ හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා මේ ප්‍රහාරය වළක්වා නොගැනීමට වගකියන්න ඕනේ ආරක්ෂක ලේකම් සහ පොලිස්පති විතරයි කියලා. එහෙම කියලා සති දෙකකින් මලල්ගොඩ කමිටු වාර්තාව ආවා. අනික මගෙන් සාක්ෂි සටහන් කරගත්තට කිසිදු සාක්ෂියක් අවසානයේ මට කියවලා අත්සන් කරන්න දුන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොලිසියක සාක්ෂියක් සටහන් කරගත්තත් කියවලා අත්සන් කරන්න දෙනවා.

අනික මම කියපු නැති ගොඩාක් දේවල් ඒ අවසන් කමිටු වාර්තාවේ තියෙනවා. අනික ඒ කමිටුවේ සංයුතිය සදාචාරාත්මක නැහැ. ඔය කියන ඉස්ලාම් අන්තවාදය මේ රටේ ඉස්සෙල්ලාම ආරම්භ වුණ කාලේ රටේ පොලිස්පතිවරයා ලෙස ඉඳපු තැනැත්තා ඔය කමිටුවේ සාමාජිකයෙක්, ඊළඟට ඉස්ලාම් අන්තවාදය පිළිබඳ විවෘත විමර්ශන කරන්න එපා කියලා ජනාධිපතිවරයා උපදෙස් දුන් අවස්ථාවේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ඉඳපු තැනත්තාත් ඔය කමිටුවේ සාමාජිකයෙක්. ඒ නිසා මට ඒ මලල්ගොඩ කමිටු වාර්තාව ගැන විශ්වාසයක් නැහැ.

කොමිසම – ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂි දුන්නා පාස්කු ප්‍රහාරයට පස්සෙ දිනකට පැය 18 ක් විතර එකදිගට වැඩ කළා කියලා. ඊට කලින් කොච්චර කාලයක් දිනකට වැඩ කළාද ?

හේමසිරි ප්‍රනාන්දු – ඊට කලින් දිනකට පැය 10 – 12 ක් වැඩ කළා ස්වාමිනි.

කොමිසම – එතකොට පීපල්ස් ලීසිං සහ BOI එකේ දවසකට කොච්චර කාලයක් වගේ වැඩ කළාද ?

හේමසිරි ප්‍රනාන්දු – ස්වාමිනි පීපල්ස් ලීසිං එකට ගියේ මාසෙකට එක දවසක් පැයක් වගේ. BOI එකේ මාසෙකට දවස් දෙකක් රැස්වීම් තිබ්බා. ඊට අමතරව සතියකට දවස් දෙකක් ගිවිසුම් අත්සන් කරන්න ගිහින් ආවා. අනිත් මුළු කාලෙම මම හිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ .

නීතිඥවරයා- අප්‍රේල් 18, 19 සහ 20 යන දින තුනේ රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිතුමාට යවපු ලිපි තමාටත් පිටපත් කර තිබුණා ද?

හේමසිරි ප්‍රනාන්දු – නැහැ ස්වාමීනි.

නීතිඥවරයා- තමා එය පිටපත් කර තිබුණා නම් ඒ ගැන පියවරක් ගන්න ඉඩ තිබුණාද?

හේමසිරි ප්‍රනාන්දු- මීට වඩා මා දැනුවත් වෙන්න තිබුණා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකට තිබුණා ඒවා මටත් පිටපත් කරන්න.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන එදින පෙනී සිටි අතර එහිදී ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදුකෙරුණි.

එහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා විමසා සිටියේ ඔබ රටේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ජනාධිපතිවරයාට දෛනිකව සම්බන්ධ කරගැනීමේ වතාවරණයක් තිබුණේද යන්නයි.

එහිදී තමා සතු දත්ත පරීක්ෂා කරමින් ජයවර්ධන කියා සිටියේ 2018 වර්ෂයේ දෙසැම්බර් මස 01දා සිට 2019 වසරේ මැයි මස 01 දා දක්වා තමා හිටපු ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇත්තේ අවස්ථා 61 කදී පමණක් බවයි.

කෙසේ වෙතත් එහිදී දුරකථන දත්ත වාර්තා හුවා දක්වමින් ජනාධිපති නීතිඥවරයා කොමිසමට පෙන්වා දුන්නේ ඉකුත් වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 31 දක්වා පමණක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අවස්ථා 139 කදී පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති බවයි.

ඉන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා දුරකථන වාර්තා ඔස්සේ කොමිසමට පෙන්වා දුන්නේ ප්‍රහාරයක් පිළිබඳව විදෙස් බුද්ධි අංශයකින් අප්‍රේල් 04 දින පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් අනතුරුව අප්‍රේල් 04 වනදා සිට 20 වනදා දක්වා වූ කාලයේ දුරකථන සංවාද 14 ක් පැවත් වී ඇති බවයි.

මෙවැනි වතාවරණයක් තුළ අප්‍රේල් 04 බුද්ධි තොරතුර පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් නොදුන්නේ මන්දැයි ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර තමන් ඒ පිළිබඳ දැනුම් නොදුන් බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කියා සිටියේය.

පසුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ විමසා සිටියේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පාස්කු ඉරුදින පෙරවරුවේ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම් කළ විදෙස් බුද්ධි අංශය විසින් විශේෂ දැනුම් දීමක් කළේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ ප්‍රහාරය එල්ල වූ දින පෙරවරු 8.27 ට පමණ ඊට පෙර අනතුරු අඟවා තිබූ විදෙස් බුද්ධි අංශය විසින් එදින පෙ.ව 6 ත් 10ත් අතර ප්‍රහාරයක් සිදුවිය හැකියැයි දැනුම් දුන් බවයි.

පසුව තමන් විසින් එම පණිවුඩය පෙරවරු 8.46 ට පමණ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දුට යොමුකළ බවත්, දුරකථන ඇමතුමක් ලබාගෙන එම පණිවුඩය පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරමින් සිටියදී පළමු බෝම්බ දෙක පිපිරී ගොස් තිබුණු බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

එහිදී ජනාධිපති නීතිඥවරයා විසින් සාක්ෂිකරුට යෝජනා කර සිටියේ අදාළ පණිවුඩය පෙ.ව 8.27 ට නොව පෙ.ව 6.30 ට ලැබී තිබුණු අතර ඔබ විසින් එය පෙ.ව 8.27 ට ලැබුණා සේ සකසා ආරක්ෂක ලේකම්වරයාට යොමුකළා නොවේද යන්නයි.

‘‘මම එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනි’’ යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =