නීතිමය ගැටලු දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් මහ සංඝරත්නයට විශාල පීඩාවක් මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිපාණෝ

0
524
- Advertisement -

මහ සංඝරත්නයේ ගෞරවයට හානියක් නොවන ලෙස අධිකරණ කටයුතු සිදුකරන්නැයි අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇතත් එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන තත්ත්වයක් දැකිය හැකි යැයි මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ පවසති.

විහාරස්ථානවල සාම්ප්‍රදායික කටයුතු මහ විහාරය විසින් ඉටු කිරීමට හැකියාවක් ඇති නමුත් අධිකරණය ඊටත් වඩා පොදු සම්භාවනාවට පාත්‍ර වන නමුත් අධිකරණයේ ක්‍රියාවලිය දිගින් දිගටම ප්‍රමාද වීම නිසා සියලු පාර්ශ්වයන් දැඩි පීඩාවට පත්ව ඇතැයි නව අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා හමුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිපාණෝ පැවැසූහ.

නව අගවිනිසුරු ධුරයට පත් ජයන්ත ජයසූරිය මහතා ඊයේ (09දා) අස්ගිරි මහ විහාරයට පැමිණ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. අනතුරුව මල්වතු මහ විහාරයට ගිය ඒ මහතා එහිදී එම පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝද බැහැ දුටුවේය.

නීතිමය ගැටලු දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් මහ සංඝරත්නයට විශාල පීඩාවක් එල්ල වී ඇතැයි පෙන්වා දුන් මහ නාහිමියෝ මෙසේද සඳහන් කළහ.

“මහනුවර ප්‍රදේශයේ වැඩවසන භික්ෂුන් වහන්සේ නමකගේ කොළඹ විහාරස්ථානයක් සතු ඉඩමක් සම්බන්ධ නඩුවක් අධිකරණයේ ගොනු කොට තිබෙනවා. එම ඉඩම සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුවිය යුතු අතර එම නඩුව විභාග කිරීම මහනුවරදී කළ හැකිද නැත්නම් කොළඹදී සිදුකළ යුතුද යන්න පිළිබඳව තීරණයක් ලබාදීම සඳහා වසර දහයකට අධික කාලයක් මේ වනවිට ගත වී ඇතත් තවමත් තීන්දුවක් ලබාදීමට අධිකරණය සමත් වී නැහැ.

විහාරස්ථානයේ විහාරාධිපති හිමිවරුන් දෙනමක මේ වනවිට අපවත් වී හමාරයි. ඉඩම සම්බන්ධයෙන් නඩු විභාග කිරීම කෙසේ වෙතත් නඩුව විභාග කිරීම මහනුවරදීද කොළඹදීද සිදු කරන්නේ යන්න පවා තීන්දු කිරීමට අධිකරණයට තවමත් හැකියාව ලැබිලා නැහැ. මේ ආකාරයේ නීතිමය ගැටලු දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් මහ සංඝරත්නය දැඩි පීඩාවට පත්ව සිටිනවා.

මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිපාණන් වහන්සේ නමක පත්කොට තිබෙන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින්. මෙවැනි සම්ප්‍රදායන් සිදුවන්නේ නැහැ. නමුත් ඒ සඳහා ඔහුට බලයක් ලබා දී තිබෙනවා.

මහ විහාරයෙන් ලබාදෙන තීන්දුවට වඩා අධිකරණයෙන් ලබාදෙන තීන්දුව පොදු පිළිගැනීමට ලක්වන බව කාගේත් විශ්වාසයයි. නමුත් සිදුවන ප්‍රමාදය හේතුවෙන් බුදු දහම පිරිහී බුද්ධ ශාසනය විනාශ වන තත්ත්වයක් තිබෙනවා.

මේ අවස්ථාවේදීවත් ඊට විසඳුමක් ලැබෙතැයි අප අපේක්ෂා කරනවා. නඩු කටයුතු සඳහා මහ සංඝරත්නය අධිකරණයට ගිය විට උන්වහන්සේ විවිධාකාරයෙන් අසීරුතාවට පත් වෙනවා. විවිධ නඩුවලට පෙනී සිටින සියලු දෙනා ඉදිරිපිට භික්ෂුන් වහන්සේට කරුණු ඉදිරිපත් කිරීමට සිදුවීම මඟින් උන්වහන්සේගේ ගෞරවයට මෙන්ම බුද්ධ ශාසනයට සිදුවන්නේ විශාල හානියක්. මේ පිළිබඳව කරුණු පැහැදිලි කර යෝජනා ඉදිරිපත් කොට ඇති නමුත් ඒවා ඉටුවුණු තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. හිටපු අගවිනිසුරුවරයා මහ සංඝරත්නය සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ කටයුතු මහනුවරින් ආරම්භ කිරීමට ක්‍රියාත්මක වූ නමුත් එය ඉතාමත්ම කෙටි කාලයකින් අඩපණ වුණා.

එය අසාර්ථක වුණා පමණක් නොව නඩු ඇසූ නඩුකාරතුමාට ස්ථාන මාරුවකුත් ලැබුණා.

මහ නායක හිමිපාණන් වහන්සේ සමඟ අදහස් දක්වමින් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා මෙසේ කීය.

අධිකරණය යනු සතුටුදායක ස්ථානයක් නොවෙයි. එහි විවිධාකාර පුද්ගලයන් නඩු කටයුතු වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. එහිදී මහ සංඝරත්නය අසීරුතාවට පත්වන බව ඇත්ත. සාකච්ඡා කොට තීන්දු තීරණවලට එළැඹීම වඩා සුදුසුයි. නීතිමය කටයුතුවලදී ඒ සඳහා වැඩි කාලයක් ගත වෙනවා. මහ සංඝරත්නයට සිදුවන පීඩාව පිළිබඳව මේ අවස්ථාවේදී අවධානය යොමු කොට ඊට සුදුසු විකල්පයක් මහනුවරින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජයන්ත ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 2 =