නැව මුදා ගැනීම වෙනුවෙන් රටට ලැබිය යුතු මුදලට මොනවා වෙයි ද . .?

0
229
- Advertisement -

නැව මුදා ගැනීම වෙනුවෙන්
රටට ලැබිය යුතු මුදලට මොනවා වෙයි ද . .?

ජාත්‍යන්තර නැව් පිළිබද සංවිධානය, 1989 වසරේ සම්මත කරන ලද ගලවාගැනීමේ ජාත්‍යන්තර සම්මුතියට අනුව, අනතුරකට ලක්ව ඇති නැවක් ගලවා ගැනීම සදහා කටයුතු කළ පාර්ශ්වයන්ට ප්‍රසාද දීමනාවක් සදහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

මෙම ප්‍රසාද දීමනාව, අදාල නැව සහ එහි ඇති බහාලුම්වල වටිනාකම නොඉක්මවන මුදලක් බව පැවසේ.

ප්‍රසාද දීමනාව ලබා දීමේ දී, අදාල නැව සහ එහි ඇති බහාලුම් නිරුපද්‍රිතව බේරා ගැනීම පමණක් නොව, නැවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම, නැව මුහුණ දුන් අනතුර හේතුවෙන් සාගර පරිසරයට වීමට තිබූ පරිසර දූෂණය වළක්වා ගැනීම යන කාරණා ද සැලකිල්ලට ගනී.

අදාල නැව විසින් උදව් ඉල්ලා නැති අවස්ථාවක වුවත්, කිසියම් පාර්ශ්වයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව නැව ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබේනම් අදාල ප්‍රසාද දීමනාව ලබා ගැනීම සදහා ඉල්ලුම් කළ හැක.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය, රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ, ලංකා මුහුදේ දී අනතුරට ලක් වූ නිව් ඩයමන්ඞ් නෞකාව, ගින්න ඇති වූ අවස්ථාවේ නිළ වශයෙන් ශ්‍රී ලංකා රජයෙන් උදව් ඉල්ලා නැති බවයි. ගින්න පිළිබදව ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කර ඇත්තේ එකී නෞකාව ආසන්නයෙන් ගමන් කළ වෙනත් යාත්‍රාවක් මගිනි.

නැව තුළ හටගත් ගින්න ඉබේ ඇති වූවක් ද, නැතිනම් සැලසුම් සහගතව ඇති කළ එකක් ද යන්න පිළිබදව තමන්ට අදහසක් පළ කළ නොහැකි බව අමාත්‍යවරයා පවසයි. කෙසේ වෙතත්, නැවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය ලංකා රජය මගින් මේ වන විට අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටියි.

මේ අතර, නැව තුළ හටගත් ගින්න සහ එම ගින්න ඇති වූ හේතුව පිළිබද සොයා බලා රස පරීක්ෂණ වාර්තාවක් ලබා දෙන ලෙස ද නීතිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ද පැවසේ.

නාවික කපිතාන්වරයෙකු වන සුරේශ් රත්නසිංහ මහතා පැවසූවේ, නැව ගිනි ගැනීම පුද්ගල අතපසුවීමක් හේතුවෙන් සිදු වූවක් බවට සැක කරන බවයි.

කෙසේ වෙතත්, දුෂ්කරම කාර්යය වන්නේ නැවේ ගින්න මැඩ පැවැත්වීම බව පවසන කපිතාන්වරයා, එම කාර්යය, නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් මේ වන විටත් සාර්ථකව සිදුකර ඇති බව ද පවසයි.

දැන් තිබෙන්නේ, අදාල වියදම පියවා ගැනීම සදහා කටයුතු කිරීම බව පවසන කපිතාන් වරයා, එම වියදම පියවා ගන්නා තෙක්, ටොන් දෙලක්ෂ හැත්තෑදහසක බොරතෙල් ප්‍රමාණයක් ඇති නිව් ඩයමන්ඞ් නෞකාව, අත් අඩංගුවට ගෙන රදවා තබා ගත යුතු බවටද යෝජනා කරයි..!

නැව් සමාගම්, තමන්ගේ නාවික යාත්‍රා අනතුරට පත් වුවහොත්, එම නාවික යාත්‍රා මුදා ගැනීමේ තොන්තරාත්තුව – මුදා ගැනීමේ සමාගම් වෙත පවරනු ලැබේ. නිව් ඩයමන්ඞ් නෞකාව වෙත ද, මේ වන විට එවැනි මුදා ගැනීමේ සමාගමක් පැමිණ ඇති බව වාර්තා වේ. අදාල සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගක් බවද පැවසේ. සාමාන්‍යයෙන් මුදා ගැනීමේ සමාගම් වෙත ගෙවීම් කරනු ලබන්නේ, මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කළහොත් පමණි – නෝ කියු නෝ පේ.

නිව් ඩයමන්ඞ් නෞකාව වෙත එම මුදා ගැනීමේ සමාගම පැමිණෙන විටත්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් නැවේ ගින්න පාලනය කර තිබේ. ඊට අමතරව, නැවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම නැවෙන් ඉවත් වී තිබේ. ජාත්‍යන්තර සමුද්‍ර නීතියට අනුව, කපිතාන්වරයා විසින් අත්හරින ලද නැවක අයිතිය එම නැව වෙත මුලින්ම පැමිණි මුදා ගැනීමේ කණ්ඩායමට බව පැවසෙන අතර, ඒ අනුව, නෞකාවේ අයිතිය ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 5 =