නාසා යන්න ආස නිසා අපොස උසස් පෙළ දෙවතාවක් ලියූ සිසුවා

0
452
- Advertisement -

නාසා ආයතනයට එක්වීමේ ආශාව නිසාම ඉකුත් වසරේ විද්‍යා විෂය ධාරාවෙන් ඒ සාමාර්ථ 03ක් සහිතව විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවකු මෙවර ගණිත අංශයෙන් විභාගයට මුහුණ දී ඒ සාමාර්ථ තුනක් සහිතව උසස් ලෙස සමත්ව තිබේ.

ඔහු දැනට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් වන ගාල්ල, පෝද්දල පදිංචි ඒ.එස්. රවීන් වීරනායකය.

රවීන් නිවුන් සහෝදරයකු සහ තවත් සහෝදරියකගෙන් යුතු පවුලේ වැඩිමලාය. රවීන්ගේ පියා එස්.එච්. වීරනායක වෘත්තියෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරිවරයෙකි. ඔහුගේ මව වන නිලන්ති සමන්ලතා මහත්මිය තමන්ගේ දරුවන්ගේ කටයුතු මෙන්ම ගේ ‍ෙදාර කටයුතු වෙනුවෙන් කාලය කැප කළාය. ඇය රැකියාවක් කළේ නැත.

කෙසේ වෙතත් රවීන් සහ ඔහුගේ සොහොයුරා ඉකුත් වසරේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් විණි. එහිදී රවීන්ගේ නිවුන් සොයුරා උසස් ලෙස ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගත්තේය.

රවීන් ඉකුත් වසරේ උසස් පෙළ විභාගය සමත්ව ඇත්තේ විද්‍යා අංශයෙන් ඒ සාමාර්ථ තුනක් ලබා ගනිමිනි.

කෙසේ වෙතත් මෙවර රවීන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන්නේ ගණිත අංශයෙන්. එයින්ද ඒ සාමාර්ථ තුනක් ලබා ගනිමින් රවීන් සමත් වන්නේය. 

රවීන්ගේ මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අප ඔහුගෙන් විමසුවෙමි.

“මම දැන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙක් ලෙස වෛද්‍ය අධ්‍යාපනය හදාරනවා. මගේ ආශාව තමයි නාසා ආයතනයට එකතුවන්න. ඒක නිසා මට දැනගන්න ලැබුණා විෂය ක්ෂේත්‍ර දෙකකින් සමත්ව තිබීම නාසා ආයතනයට එකතුවන්න සුදුසුකමක් කියලා.

ඒ නිසා මම විද්‍යා විෂය ධාරාවෙන් සමත්වෙලා තියෙද්දිම ගණිත ධාරාවෙන් නැවතත් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන්න තීරණය කළා. ඒ අනුව තමයි මම පසුගිය වාරයේ උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්නේ.

ඇත්තටම මේ ජයග්‍රහණය ගැන මට සතුටුයි. මගේ මවුපියන් මේ සඳහා ලබා දීපු අනුග්‍රහයත් මේ වෙලාවෙද සිහිපත් කරනවා.

ඒ විතරක් නෙවේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් මේ වෙනුවෙන් ලැබුණ අනුග්‍රහයත් සිහිපත් කරන්න කැමැතියි.

කොහොම වුණත් උත්සාහය තියෙනවා නම් දිනා ගන්න බැරි කිසිවක් නැහැ. මමත් මගේ උත්සාහයට යන්න ඉලක්කයක් ලෙස මේ විභාගයෙන් සමත් වීම තබාගෙන කටයුතු කළා. මට අවසානයේ මගේ ඉලක්කය දිනාගත හැකි වුණා.”

කෙසේ වෙතත් තමන්ගේ ඉලක්කය වෙත යෑම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරමින් මෙම වසරේත් පසුගිය වසරේත් උසස් පෙළ විභාගය විද්‍යා විෂය ධාරාවෙන් සහ ගණිත විෂය ධාරාවෙන් උසස් ලෙස සමත් වූ රවීන් වීරනායක පුතණුවන්ට අපගේ සුභාසිංසන පිරිනමමු. එසේම දිරියෙන් ඉදිරියට ගොස් ලොව ජය ලබන්නට ඉලක්ක කරන දූ පුතුන් සිය ගණනින් දහස් ගණනින් මේ මවු පොළොවෙන් පහළ වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − one =