දේශපාලඥයන් පස් දෙනෙක් මෛත්‍රී සහ මා විරසක කළා. ඒ පස්දෙනාගේ නම් හෙළි කිරීම මගේ ජීවිතයට තර්ජනයක්..!

0
133
- Advertisement -
Share
7 / 100

දේශපාලඥයන් පස් දෙනෙක් මෛත්‍රී සහ මා විරසක කළා.
ඒ පස්දෙනාගේ නම් හෙළි කිරීම මගේ ජීවිතයට තර්ජනයක්..!

දේශපාලනඥයන් පස් දෙනෙකු, තමන් ගැන කේලාම් කියා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිත බින්ද බවත්, ඔවුන්ගෙන් තමන්ගේ ජීවිතයට තර්ජනයන් විය හැකි බැවින්, ඒ දේශපාලනඥයන් පස් දෙනාගේ නම් .තමන් හෙළිදරව් නොකරන බවත්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පවසා සිටියේ ය.

තමන් ආරක්ෂක ලේකම්වරයා වුවත්, මුස්ලිම් අන්තවාදී කොටස් පිළිබදව තමන්ට ලැබෙන තොරතුරු පෞද්ගලික මට්ටමෙන් හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නොහැකි වූවේ හිටපු ජනාධිපතිවරයා සහ තමන් අතර පැවති එම විරසකය නිසා බවද ඔහු පවසා සිටියේ ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් කලකිරී සිටි බවත්, තමන් ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවත් වීමට බලාපොරොත්තුවෙන් පසු වූ බවත් ඔහු පැවසී ය.

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කරන කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබා දුන් සාක්ෂිය, අරුණ පුවත් පත උපුටා දක්වමින් පහත අපි පළ කරමු.

ප්‍රහාරයට පෙර මුස්ලිම් අන්තවාදය ගැන බුද්ධි තොරතුරු ලැබුණත් හිටපු ජනපති උනන්දු වුණේ නැහැ

•වරුණි පෙරමුණ

පාස්කු ප්‍රහාරයට පෙර මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබුණත්, එම තොරතුරු සම්බන්ධයෙන් එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට උනන්දුවක් නොතිබූ බවත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සිදු කරන ජනාධිපති පරික්ෂණ කොමිසමේදී පෙරේදා (19 වැනිදා) පැවසීය. හිටපු ආරක්ෂක ලේකම් සිව්වැනි දිනටත් පෙරේදා සාක්ෂි දුන්නේය.

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් ඇත්ද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී හේමසිරි ප්‍රනාන්දුගෙන් විමසා සිටියාය.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ තමා යම්තාක් දුරකට එහෙම සිතන බවත්, මුස්ලිම් දේශපාලනඥයන්ට අවශ්‍ය ආකාරයට බොහෝ කටයුතු සිදු වූ අතර, ඒ වන විටත් සහාරාන් හෂීම් දේශපාලන පක්ෂයකින් මැතිවරණයකට පවා ඉදිරිපත්ව සිටි බවත්ය.

තමන් කිසිවිටක පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයේ වගකීම භාර නොගන්නා බවත්, රාජ්‍ය බුද්ධි සේවය මගින් තමන්ට යොමු කළ වාර්තාවල අඩුපාඩු පැවැති බවත්, හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙහි දී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රශ්න කළාය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – වවුනතිව් ‍‍පොලිස් නිලධාරීන්ගේ ඝාතනය, මාවනැල්ල බුදු පිළිම කැඩීම, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම ඇතුළු කාරණා රැසක් පිළිබඳ තොරතුරු භයානක වෙයි කියලා හිතුණේ නැද්ද?

හේමසිරි ප්‍රනාන්දු – ඒ ගැන වැටහුණා. නැගෙනහිර දේශපාලන ක්‍රියාවලියේ හැසිරීම ගැන ඔවුන් රජයට කොතරම් අවශ්‍යද කියලා දැනගත්තා. ඒක ගැන සැලකිල්ලට ගනිද්දී ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

සභාපති විනිසුරු – ජාතික ආරක්ෂාවට වඩා වෙනත් කාරණයක් වැදගත්ද?

හේමසිරි ප්‍රනාන්දු – මෙරට පවතින මැතිවරණ ක්‍රමය අනුව සුළු ජාතිකයන්ට බලයක් තිබ්බා රජයට බලපෑම් කරන්න. ඒ අය සතුටු කරන්න ගොඩාක් දේවල් කළා. ඉදිරියේදී පොලිස්පති සාක්ෂි දෙනකොට ඒ දේවල් කියයි. විශේෂයෙන් නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලනඥයන් හැසිරුණ අකාරය හේතුවෙන් පොලිසිය කටයුතු කිරීමේදී විවිධ බාධා එල්ල වුණා. අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට නොහැකි වීම, අත්අඩංගුවට පත්වන තැනැත්තන් පොලිසියට පැමිණ පැහැරගෙන යාම යනාදී දේවල් සිදුවුණා. එය ආරක්ෂක අමාත්‍යාංශයට හෝ නිලධාරීන්ට වැළැක්විය නොහැකි තත්ත්වයක් වුණා.

අප මේ දේවල් ගැන සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් තීරණ අරගෙන ජනාධිපතිවරයා හා අගමැතිවරයා මට්ටමින් විසඳාගත යුතුව තිබ්බා. ජාතික ආරක්ෂාවට වඩා වෙනත් දේවල් වැදගත් වුණා කියලා සෘජුව මට කියන්න බැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – මුස්ලිම් තරුණයන් රැඩිකල් වීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබා දී තිබෙන වාර්තා සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමු කරන විට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වුණේ කුමක්ද?

හේමසිරි ප්‍රනාන්දු – ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වුයේ නැහැ. එතුමා කැමති වුණේ නැහැ මුස්ලිම් දේශපාලනඥයන් සමග අර්බුදයක් ඇති කර ගන්න.

කොමිසම – ඔබ නාවික හමුදා කුච්චවේලි කඳවුරේ සේවය කරන අතර තුර සිදුවුණු සිදුවීම කුමක්ද?

හේමසිරි ප්‍රනාන්දු – කුච්චවේලි නාවික හමුදා අනුඛණ්ඩය භාරව සේවය කළා. ඒ කාලයේ මම මාස 6 කට පෙර නිවාඩුවක් ඉල්ලා සිටියා. මට නිවාඩු අනුමත වූ දිනයේ මම දවල් 2.00ට කෝචිචියෙන් ගෙදර ආවා. එදා රාත්‍රීයේ 11.00 ට පමණ අපේ කඳවුරට ප්‍රහාරයක් එල්ලවුණා ස්වාමිනි, කඳවුරේ හිටපු 24 දෙනාම මැරෙනවා, මම දිවි ගලවාගත්තා.

කොමිසම – පාස්කු ප්‍රහාරය දවසේ වුණෙත් ඔය දේම නේද?

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊට සිනාසෙමින් නිහඬව සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – 2019 මාර්තු 19 වැනිදා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන අයි.එස්. සාමාජිකයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළාද?

හේමසිරි ප්‍රනාන්දු – අවධානය යොමු කළා. රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදී තිබෙන තොරතුරු සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී විසින් අවධානය යොමු කළා. විශේෂයෙන් නැගෙනහිර පළාත තුළ අරාබිකරණය වීම සීග්‍රවීම සමග එලෙස පුහුණුව ලබා පැමිණෙන අයගෙන් රටේ සංහිඳියාවට බාධාවක් ඇති බවට වැටහීමක් තිබුණා. ඉස්ලාම් අන්තවාදී සංවිධානවලින් පුහුණුව ලබා පැමිණෙන අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නෛතික රාමුව ප්‍රමාණවත් වුවත් දේශපාලන ප්‍රශ්න පැවතියා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – මොනවද ඒ ප්‍රශ්න?

හේමසිරි ප්‍රනාන්දු – ජනාධිපතිවරයා සමග මම පෞද්ගලිකව කතා කළා ස්වාමීනී. අයි.එස්. පුහුණුව ලබා පැමිණෙන අය සහ ‍මෙරටට පැමිණෙන දේශකයන් ගැන. සමහර අයට වීසා අරන් තියෙන්නෙත් මෙහෙන්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ජනාධිපතිවරයා මොනවගේ ප්‍රතිචාරයක්ද ඔබට දැක්වූයේ?

හේමසිරි ප්‍රනාන්දු – ඕවා ගැන වෙනම පරිස්සමෙන් කරන්න ඕන, මුස්ලිම් දේශපාලකයන් තරහ කරගන්න බැහැ කියලා තමයි කිව්වේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඇයි කියලා ඇහුවේ නැද්ද?

හේමසිරි ප්‍රනාන්දු – මට විධායක ජනාධිපතිවරයාගෙන් ඊට වඩා අහන්න බැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – මේ වගේ කාරණයකට ඉබිගමනින් නෙවෙයි ඉතා ඉක්මනින් පියවර ගන්න ඕනේ කියලා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේ නැද්ද?

හේමසිරි ප්‍රනාන්දු – අපි මේ වගේ දෙයක් ආවම ආරක්ෂක මණ්ඩලයේ කතා කරනවා. මට පුද්ගලිකව කතා කරන්න බැහැ. යම් කිසි කණ්ඩායමක් අපි අතර නෝක්කාඩුවක් ඇති කළා. අපි ඈත්වුණා. එතුමා විරසක වුණා මාත් එක්ක. මට ඔහු ගැන කලකිරීමක් ඇතිවුණා. මම කොහොමත් හිටියේ අයින් වෙන්න. සහරාන්ට පිං සිද්ධ වෙන්න ඒක ඉක්මන් වුණා.

කොමිසම – එම විරසක වීමට හේතුව කුමක්ද?

හේමසිරි ප්‍රනාන්දු – යම් දේශපාලනඥයන් පස් දෙනකු මගේ වැරදි ජනාධිපතිට කියලා විරසකයක් ඇති කළා. මට නම් කියන්න බැහැ මට ජීවිත තර්ජන තියෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – සහරාන්ගේ අනුගාමිකයන් කොතරම් දුරට අභිප්‍රේරණය වෙලාද කියලා ඔබ සොයා බැලුවාද?

හේමසිරි ප්‍රනාන්දු – එය කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඊට අදාළ නිලධාරීන් ඉන්නවා. පොලිසිය, සී.අයි.ඩීය, එස්.අයි.එස්. වගේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ඔබ තමයි විධායක නිලධාරියා, ඔබ තමයි අධීක්ෂණ නිලධාරියා, ඔවුන්ගෙන් කරුණු අරගෙන ඔබ දැනුවත් විය යුතුව තිබුණා නේද ?

හේමසිරි ප්‍රනාන්දු – මට පිළිතුර විදිහට දෙන්න තියෙන්නේ ස්වාමීනි නැහැ කියලා. ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ විශාල ආයතනයක්. එහි වැඩවලින් බුද්ධි තොරතුරු 10% කටත් අඩුයි. පුහුණුවලත් නිලධාරීන් ඉන්නවා. ඒක ආරක්ෂක ලේකම්ට කරන්න බැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ප්‍රනාන්දු මහත්මයා මම ඔබට යෝජනා කරනවා මම අහන ප්‍රශ්න මඟහැර යනවා කියලා?

හේමසිරි ප්‍රනාන්දු – ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. මම හිතනවා මගේ රාජකාරිය මම හරියටම කළා කියලා. මේ බුද්ධි තොරතුරු හැර අනෙක් රාජකාරි මම හරියටම කරලා තියෙනවා. මේ කොමිසමට අවශ්‍ය නම් හිටපු ජනධිපති ලේකම්වරයාගෙන් වාර්තාවක් ගන්න පුළුවන් වෙයි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – 100ක් හරියට කරලා 1ක් වරද්දාගත්තට පස්සේ 100 ක් විතර වන්දි ගෙව්වා නේද හේමසිරි ප්‍රනාන්දු මහත්මයා?

මම මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගන්න සූදානම් නැහැ. මේ තොරතුරු ආවම ඒ ගැන වැදගත්කමක් තිබුණ නිසා තමයි ඒ ගැන ක්‍රියාකරන ආයතනය වන පොලිසියට යොමුකළේ. මට ලැබුණ තොරතුරු ලාච්චුවට දාලා අවුරුදු නිවාඩුවට ගියානම් අන්න වැරදියි. මගේ මාස පහමාරක කාලය තුළ ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා මාව දැනුවත් කරලා නැහැ. මම රාජකාරිය පැහැර හැරලා නැහැ. පාස්කු ප්‍රහාරයේ වගකීම මම ප්‍රතික්ෂේප කරනවා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =