තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද සිට ආරම්භ වේ.

0
175
- Advertisement -
Share

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද සිට ආරම්භ වේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (13) ආරම්භ වේ.

ඒ අනුව අද දිනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්යය මණ්ඩලය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කාර්යය මණ්ඩලය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දී අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා දී තිබේ.

සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම, මුඛ ආවරණ පැලදීම සහ දෑත් විෂබීජහරණය කිරීම යනාදී කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඡන්ද දායකයින් විසින් අනුගමනය කළ යුතු අතර ඡන්දය සලකුණු කිරීම සදහා නිල් හෝ කළු පෑනක් රැගෙන ඒම සුදුසු වන බව ද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මීට අමතරව ලබන 14, 15, 16, 17, 20 සහ 21 යන දිනවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ආරක්ෂක හමුදා, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ට ලබන 16 සහ 17 යන දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන අතර සෙසු රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 සහ 15 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.

නොවැලැක්විය හැකි හේතුවක් මත ලබා දී ඇති නියමිත දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට 20 සහ 21 යන දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී ඊට අදාළ පහසුකම් සලසා ගත හැකි වේ.

මේ අතර මහ මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකිරීම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ ජනතාව වගකීම භාරගත යුතු බවය.

asian mirror.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 4 =