කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ද්‍රවිඩ තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීම සහ පසුව ඔවුන් අතුරුදන් කිරීමට අදාල සිද්ධියේ ප්‍රධාන සැක කරුවෙකු වන නාවික හමුදාවේ හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට සැගවී සිටීමට හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා උපකාර කර ඇති බව තහවුරු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
සැකකරුගේ බිරිදගෙන් සහ අනියම් බිරිදගෙන් ලබා ගත් සාක්ෂි අනුව මෙය තහවුරු වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.
හිටපු නාවික හමුදාපතිවරයා නාවික හමුදා මූලස්ථානය තුළ සැගවී සිටීමට සැකකරුට අවසර ලබා දී තිබෙන බවත්, නාවික හමුදා කදවුරෙන් ඉවතට යෑම අවදානම් බවත්, සැකකරු අවස්ථා කිහිපයකදී ඔහු මුණ ගැසීමට නාවික හමුදා මූලස්ථානයට පැමිණි ඔහුගේ බිරිදට සහ අනියම් බිරිදට පවසා තිබේ.
ඊට අමතරව, සැකකරුට රටින් පිටවීම සදහා නාවික හමුදා පොදු අරමුදලෙන් මුදල් ලබා දී ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අධිකරණයට දන්වා තිබේ. එමෙන්ම මෙකී නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන ලක්සිරි අමරසිංහ යන ව්‍යාපාරිකයා, චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චි යන අයට රටින් පිටවීම සදහා ඇමරිකානු ඩොලර් 5000 ක මුදලක් ලබා දී ඇති බවද වාර්තා වේ. එම ගිණුම් සම්බන්ධයෙන් සියලූ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස අධිකරණය විසින් අදාල ගණු දෙනුව සිදු කළ බැංකුවට නියෝග කර තිබේ.