“ජනාධිපතිලේකම් තුමනි, එම්.සී.සී ගිවිසුම අධ්‍යයනයට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ රටට හෙළිකරන්න.” සුනිල් හදුන්නෙත්ති.

0
353
- Advertisement -
Share

එම්.සී.සී ගිවිසුම අධ්‍යයනයට කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර, මේ වන විට මාස හයකට වඩා වැඩි කාලයක් ගතව ගොස් තිබේ. නමුත් තවමත්, කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ මොනවාදැයි රට නොදනී. මේ සම්බන්ධයෙන් විමසා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, සුනිල් හදුන්නෙත්ති මහතා ලිපියක් යොමු කර තිබේ.

ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01.

මහත්මයාණෙනි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමගඅත්සන් කිරීමට නියමිත ගිවිසුම පිළිබඳවයි.

වර්තමාන ආණ්ඩුව එක්සත් ජනපද රජයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුම් ගත වීමට සූදානම් වන බවට වන පුවත් පිළිබඳ කරුණු පැහැදිලි කර ගැනීම වෙනුවෙන් මෙම ලිපිය ඔබ වෙත යොමු කරනු කැමැත්තෙමි.

02. ශ්‍රී ලංකා රජය, එක්සත් ජනපද රජයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුම් ගත වීමට යාම පිළිබඳ මතභේදාත්මක තත්වයක් පසුගිය වසර මැද භාගයේ සිට රට තුළ දක්නට ලැබුණු නමුත් එය බරපතළ ලෙස කරළියට පැමිණියේ 2019 ඔක්තෝබර් මස අගදී පැවති ආණ්ඩුව විසින් එම ගිවිසුම් ගත වීම සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගත් බව වාර්තා වීමත් සමගය.

03. කෙසේ වුවද නොවැම්බර් 01වැනි දිනට පෙර එය අත්සන් තබනු ඇති බවට වාර්තා පළ වුණද ඒ සමග පැනනැගුණු විරෝධතා හේතුවෙන් එය අත්සන් තැබීම කල් තැබුණි. එළඹෙමින් තිබූ ජනාධිපතිවරණයේ ප්‍රධානම මාතෘකාවලින් එකක් බවට මෙම ගිවිසුම පත්වූ අතර ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නොවැම්බර් 06වැනි දින නිවේදනය කළේ එය නොවැම්බර් 16 දිනට පසුව, එනම් ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබනු ඇති බවය.

04. ජනාධිපතිවරණයෙන් පසුව වත්මන් ආණ්ඩුව විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම නැවත සලකා බැලීම සඳහා කැබිනට් අනුමැතියක් අනුව කමිටුවක් පත් කළේය. එම කමිටුවේ සංයුතිය, කාලසීමාව හා වාර්තාව ඉදිරිපත් කරන දිනය පිළිබඳව ජනවාරි 21වැනි දින අප පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක සහෝදරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ විමසන ලදී.

05. එම ප්‍රශ්නයට පිළිතුරු දුන් එවකට පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අදාළ ගිවිසුම අධ්‍යයනය කිරීමට 2019 දෙසැම්බර් 18වැනි දින අමාත්‍ය මණ්ඩලරැස්වීමේදී කමිටුවක් පත් කළ බවත් එම කමිටුවට ලලිතසිරි ගුණරුවන්, ඩී.එස් ජයවීර, නිහල් ජයවර්ධන, නාලක ජයවීර යන මහත්වරුන් පත්කරනු ලැබ ඇති බවත් එම කමිටුවට අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 04ක කාලයක් ලබාදී ඇති බවත් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

06. පසුගිය පෙබරවාරි 28වැනි දින කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගිවිසුම අධ්‍යයනය කළ කමිටුව අග්‍රාමාත්‍යවරයා වෙත අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එහි නිර්දේශ අනුව එම කෙටුම්පත් කර ඇති ගිවිසුම පවතින ස්වරූපයෙන් තිබියෙදී අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් නොමැති බවය. එම කෙටුම්පතේ ඇතැම් වගන්ති රfටි ස්වෛරීත්වයට සහ ව්‍යවස්ථාවට හානිදායක බවද ශ්‍රී ලංකාවට හිතකර ලෙස එම ගිවිසුම සංශෝධනය කර ගැනීම සඳහා එක්සත් ජනපද බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යෝජනා ප්‍රාග්ධන හිඟයකට මුහුණපා සිටින හා ණය මත ක්‍රියාත්මක වන රටකට ආයෝජනය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ලබාගැනීමට වැදගත් වන බවද ඔහු එහිදී පෙන්වා දී ඇත. මෙම ප්‍රකාශය මගින් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමකින් බැඳීමේ අදහස අත්හැර නොමැති බව පැහැදිලිය.

07. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විශේෂඥ කමිටුව පත්කොට මේ වන විට මාස 06කට ආසන්න වී ඇති නමුත් මෙතෙක් එම කමිටුවේ අවසන් වාර්තාවක් ප්‍රසිද්ධියට පත්වී ඇති බවක් දැනගන්නට නැත. එහි අවසන් නිර්දේශ කවරේදැයි රටට අනාවරණය වී නොමැත.

08. මේ තත්වය තුළ ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග නව ගිවිසුමකට එළඹීමට සූදානමි වන බවට පැතිර යමින් ඇති තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය කමක්ද යන්නත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විශේෂඥ කමිටුවේ අවසන් නිර්දේශ කවරේද යන්නත් පුරවැසියන් වෙනුවෙන් මා වෙත දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි, සුනිල් හඳුන්නෙත්ති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 2020.06.08

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 6 =