“ජනපති ඇවිත් ගිහින් මාස 10 යි. ආර්.එම්.වී එක තාමත් ඉස්සර වගේමයි.” සති අග අරුණ – විශේෂ හෙළිදරව්ව.

0
636
- Advertisement -
Share
6 / 100

ජනපති ගියආර්.එම්.වීයට දස මසකට පසු ගියෙමි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ළඟ මිනිසුන් රස්තියාදු වන්නට පටන් ගත්තේ අද ඊයේ පටන් නොවේ. මීට අවුරුදු ගාණකට පෙර තත්ත්වය ද මෙයමය. කවදාවත් වගකිවයුත්තකුගේ ඇසට නොදුටු, සමහරවිට ඇස ගැසුණ ද නොදුටුවා සේ සිටි අය අතරේ රාජකාරියක් කරගන්නට මිනිසුන් විඳින මේ පීඩාව දැක මතකයේ තබාගෙන සිටින්නට ඇත්තේ එක් මිනිසෙක් පමණි. ජනපති ගෝඨාභය රාජපක්ෂ එසේ අපේක්ෂා භංගත්වයට පත්ව සිටි මිනිසුන් අතරට පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා හදිසියේම ගියේ ඒ නිසාය. ඒ අනපේක්ෂිත ආගමනය දෙපාර්තමේන්තුවේ නිලධාරින් තැති ගැන්මට ලක් කළද පිටත සේවා අවශ්‍යතා වෙනුවෙන් බලා සිටි මහජනයාගේ හදවත් නම් සොම්නසින් පිරී ඉතිරී යන්නට විය.

ඒ අවස්ථාවේ ඒ සියලුම දෙනා සිය යෝජනා – චෝදනා ජනපති වෙත ඉදිරිපත් කරන්නට වූහ. ඒ සියල්ල සන්සුන්ව අසා සිටි ජනපති මෙම සේවාව ජනතා හිතෛශී සේවයක් බවට පත් කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට තරයේ අවවාද කළේය. ඒ සඳහා වූ නව ක්‍රමවේදයන් ක්‍රියාපටිපාටීන් රැසක් ජනපති විසින් ඉදිරිපත් කළේය. සියලු දත්තයන් ජාල ගත කිරීම, කෙටි පණිවුඩ ක්‍රමයක් මගින් මහජනතාවට දත්තයන් සැපයීම, වේලාවක් සහ අංකයක් ලබාදීම වැනි නව සංකල්ප කීපයක් ද ඊට ඇතුළත්ය.

මේ අයුරින් ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණි 2019 නොවැම්බර් 26 වැනි දින සිට අද දක්වා මාස දහයක කාලයක් ගත වී අවසන්ය. ඒ නිසා එදා ජනපති කීවා සේ අදට නව ක්‍රම​වේදයන් රැසක් තිබිය යුතුය.

පොරොන්දු වූවා සේ මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතා හිතෛශී සේවය සලසන ස්ථානයක් වී තිබෙන්නට ඕනෑය. එහෙමනම් දැන් ඉස්සර වාගේ පැය ගණන් මිනිසුන් රස්තියාදු වන්නටත් බැරිය. එය එසේ වී ඇත්දැයි ඇසුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ‘‘සුමිත් අලහකෝන්’’ ගෙනි.

‘‘ මේ වන විට වේරහැර ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අපි නව මුහුණුවරක් දීලා තියෙනවා. දවසකට සේවාදායකයන් තුන්සියයකට ආසන්න පිරිසකට අපි සේවය දෙනවා. අලුත් කවුන්ටර් විවෘත කරල තියෙනවා. පැරණි ක්‍රම සියල්ල රී කන්ඩිෂන් කරලා තියෙනවා.

සාමාන්‍යයෙන් වේරහැරට දිනකට එක්දහස් පන්සියයකට ආසන්න පිරිසක් එනවා. ඉතින් ඒක අපේ ධාරිතාවය ඉක්මවා යෑමක්. ඒ හේතුව නිසා අපි දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් කාර්යාල විසි හතරක් පිහිටවල තියෙනවා. නමුත් දැනට නෙට්වර්ක් වෙලා තියෙන්නෙ දිස්ත්‍රික් අටක් විතරයි. දිස්ත්‍රික් දාසයක් තවමත් off line මට්ටමේ තමයි තියෙන්නෙ. off line දිස්ත්‍රික් තුළ තොරතුරු තැපැල් මාර්ගයෙන් තමයි වේරහැරට එන්නේ. යාපනය නුවර, මොනරාගල, ගම්පහ වැනි ප්‍රදේශවල තොරතුරු වේරහැරට On line සම්ප්‍රේෂණය වෙනවා. “

එසේ නම් මේ වන විට ගම්පහ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට සිය කටයුතු උදෙසා වේරහැරට පැමිණීමට අවශ්‍යතාවක් නොමැත. එම ජනතාව අදාළ ප්‍රදේශවල පිහිටි කාර්යාලවලින් සිය රියැදුරු බලපත්‍රය ගන්නවා ඇත. ඒ ගැන තව දුරටත් සාක්ෂාත් කරගන්නට හැදුවේ වේරැහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ‘‘සමන්ති මිහිඳුකුල’’ ගෙනි. බොහෝ පරිශ්‍රමයක් දරා ඇයව සම්බන්ධ කර ගත්තද, ඇය පවසා සිටියේ තමන්ට මෙම කිසිදු ගැටලුවකට පිළිතුරු ලබාදිය නොහැකි බවයි.

කොමසාරිස් ජනරාල්වරයා කියන අයුරින් දිනපතා එක්දහස් පන්සියයක් පමණ රියැදුරු බලපත්‍ර වෙනුවෙන් මේ දෙපාර්තමේන්තුවට පැමිණෙති. මේ තැන ජනතා හිතෛශි ලෙස සේවය සලසන්නේ නම් මේ එක්දහස් පන්සීයට තවත් දවසකට ඒ අවශ්‍යතාවයටම මෙහි එන්නට ඕනෑ වෙන්නේ වත් තම වටිනා කාලය නාස්තිකර ගන්නට වෙන්නේවත් නැත. රියැදුරු බලපත්‍ර අංශයේ අධීක්ෂණ නිලධාරී ‘‘කපිල පෙරේරා’’ ඒ සම්බන්ධයෙන් පෙන්වා දෙන්නේ වෙනත් හේතුවකි.

‘‘කාලය වැයවීම පිළිබඳව ගැටලුවට හේතුව මේකයි. දෙපාර්තමේන්තුව තුළ මෙඩිකල් සෙන්ටර් එකයි, බලපත්‍ර අංශයයි වෙන වෙනම තමයි තියෙන්නෙ. ඒ හේතුව නිසයි මිනිස්සුන්ට තවමත් රස්තියාදු වෙන්න වෙලා තියෙන්නෙ. මේ දෙක එකට ලින්ක් වෙන්න අවශ්‍ය අංශ දෙකක්. නමුත් තවමත් එහෙම වෙලා නැති එක ගැටලුකාරී තත්ත්වයක්. මෙඩිකල් එකක් ගන්න පැය දෙකක විතර කාලයක් ගත වෙනවා. මේ අංශ දෙකේ එකතුව පිළිබඳව දැනට වැඩි විස්තරයක් කියන්න බෑ.’’

එය එසේ වෙද්දී වේරහැර ශාඛාවේ සහකාර කොමසාරිස් පී.කේ. සංජීවනීගේ අසුනේ ද ප්‍රශ්නයකි. ඈ ගැන ඇසූ දින තුනම දෙපාර්තමේන්තුවේ විමසීම් අංශය පවසා සිටියේ ඇය හෙඩ් ඔෆිස් ගිය බවයි. තව දුරටත් ඒ කතාබහෙන් හෙළිවූයේ ඇය නැවත වේරහැර දෙපාර්තමේන්තුවට පැමිණීම ද අවිනිශ්චිත බවකි. එදා ජනාධිපතිවරයා නිරීක්ෂණය කරන අවස්ථාවේදීත් ඇය සිට තිබුණේ ප්‍රධාන කාර්යාලයේය. එදා සිට තවමත් ඇය සිටින්නේ ප්‍රධාන කාර්යාලයේය.

ජනපති ආගමනයෙන් පසු වෙනස් වන සේවා අතරේ තැරැව්කරුවන්ගේ ආක්‍රමණයද මර්දනය වී තිබිය යුතුයි. කොමසාරිස් ජනරාල්වරයා කියන්නේ තැරැව්කරුවන් දැන් වේරහැර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තු බිමේ පස් නොපාගන බවයි.

‘‘ඇත්තටම මේ වනවිට අප එම නීති විරෝධී ක්‍රියාවලට තිත තබලා ඉවරයි. නීති විරෝධී පුද්ගලයන්ට මේ භූමියට ඇතුළුවීමට හැකියාවක් නෑ. මහජනතාව වෙනුවෙන් අපට කළ හැකි උපරිමය අපි කරල තියෙනවා. පුළුවන් නම් ගිහිල්ලා ඔබතුමන්ලත් මේ පිළිබඳව සොයා බලන්න කියන ඉල්ලීම කරන්න කැමැතියි. ඒ වගේම දැනට පාරිභෝගික ජනතාවට සිය සේවා අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා කෙටි පණිවුඩ ක්‍රමයත් අපි දැනට සාර්ථකව කරගෙන යනවා. මම පෞද්ගලිකව වේරහැරට ගිහිල්ලා මේ පිළිබඳව සොයා බැලීමක් කළා. සමහරක් පුද්ගලයන්ගේ ජංගම දුරකථන මගේ අතට අරන් මම කෙටි පණිවුඩ නිරීක්ෂණය කරල තියෙනවා.”

කොමසාරිස් ජනරාල්වරයා කියන අයුරින් නම් රියැදුරු බලපත්‍රයක් ගන්නට වේරහැරට යන කෙනෙකුට දැන් ප්‍රශ්නයක් තිබෙන්නට ඉඩ නැත. කාලය කා දමමින් වරු ගණන් බලා නොසිට තැරැව්කාර කාක්කන්ගේ කාක් හඬට නොරැවටී දෙයියනේ කියා විභාගය ලියා, ට්‍රයල් පෙන්වා, ගන්නට ආ රියැදුරු බලපත්‍රයට සහතික ලැබ ගෙදර යන්නට පුළුවන. ඉන් දින කීපයකට පසු තැපෑලෙන් රියැදුරු බලපත්‍රය ගෙදරටම එනවාද ඇත.

ඒ බව ඇස් දෙකින්ම දැක ගැනීම වටින්නේය. මේ එහි ගිය පසුගිය අඟහරුවාදා(06දා) දිනයයි. දෙපාර්තමේන්තු භූමියේ ඇතුළත සහ පිටත විශාල ජනකායක් රැස්ව සිටියෝය. මෙහි ප්‍රධාන පිවිසුම අසල දිස්වූයේ සරණාගත කඳවුරක ස්වාභාවයකි. දරුවන් සහ කාන්තාවන් රෙදි එළා බිම දිගා වී සිටි අයුරු දකිනා කෙනකුට මෙහි ජනතාවට සිඟමන් දෙනවාදෝ යැයි සිතීමටද හැකියාවක් ඇත. පිටතට දෙවැනි නොවූ ඇතුළත ඊටත් එහා ගිය අති විශාල ජනකායක් රැස්ව සිටියෝය. මාද එහි ගල් බංකුවක් මත වාඩි වූයේ නිලධාරීන් සහ බලධාරීන් පවසන සුන්දරත්වය මෙහි කොතනක හෝ සැඟවී තිබේදැයි බලමිනි.

මෙහි පැමිණෙන මහජනතාවට වැඩි වශයෙන් සේවය සපයන්නේ දෙපාර්තමේන්තු සේවකයන් නොව අතරමැදි තැරුව්කාර කපුටන් පිරිසක් බව ඇසට පෙනෙන්නට ගත්තේය.

එකිනෙකට පැමිණි පිළිවෙළ අනුව මෙහි සේවය ලබා ගත නොහැකිය. එය පමා නොවී ලබා ගත්තේ යහමින් මුදල් ටිකක් එහා මෙහා කර ‘‘කාක්කෙකුට ජරාව ටිකක් කැවූ අය පමණි. පුද්ගලයකු යන එන වෙලාව සහ රාජකාරියට ගත වන වේලාවන් තීරණය කරනු ලබන්නේ බලධාරීන් නොව කපුටන්ය. ඔවුනට මැසේජ් සිස්ටම් අදාළම නැත. උදෑසන සිට වරු ගණන් පෝලිමක තැපි අයෙක් ඉන් විඩාවට පත්වීමේදී ලාභ පාඩු නොබලා තැරුව්කරුවෙක් සොයා ගන්නේය. පසුව ඔහුට රුපියල් එක්දහස් පන්සියයක් පමණ වියදම් කර අවශ්‍ය රාජකාරිය කර පිටව යනු පෙනුණි. ඔවුන් කතා බහ කළේ මොනවාද කියා ඇසුණේ නැත. ඒ ගැන දැන ගැනීමේ කුතුහලයකින් සිටියදී මොහොතකින් මට ඒ අවස්ථාව ලැබුණේය.

‘‘මිස් මොකක්ද වෙන්න ඕන?’’

‘‘මගෙ ලයිසන් එක වන්ඩේ සර්විස් එකෙන් ගන්න ආවේ?’’

‘‘මේක ඇතුළෙ වැඩ කරගන්න ඔහොම බෑ මිස්, මට 1500ක් විතර දෙන්න. පුළුවන් නම් වැඩේ කරල දෙන්නම්. ඇතුළෙ තුන්දෙනෙක් ඉන්නවා මිස්. එකාට 500 ගානෙ මම දෙන්න ඕන.”

මට වහා කොමසාරිස් ජනරාල්වරයා මතක් වුණේය. ඔහු පැවසූ ආකාරයට නම් මේ අයුරින් තැරැව්කාර කපුටන්ට රජවීමට හැකියාවක් නැත. නමුත් මේ වන විටත් තැරැව්කාර කපුටු මාෆියාව ප්‍රසිද්ධියේ එය කරගෙන යන බවට ඇසින් දුටු සාක්ෂිය මෙයයි. ඒ අත්දැකීමම ලැබූ තවත් අය සිටියහ. නුගේගොඩ මිහිරි එක් තරුණියකි.

“අද මම ආවේ යාළුවෙක් එක්ක. නමුත් මගෙ ලයිසන් එක ගත්තෙත් ගොඩක් අමාරුවෙන්. ඇතුළෙ කෙනකුට කීයක්වත් දෙන්නෙ නැතුව මේකට ඇවිත් වැඩක් කරගන්න බෑ. හිතාමතාම ට්‍රයල් ෆේල් කරනවා. පස්සෙ එයාලා ගොඩදාලා දෙන්නම් කියලා සල්ලි ඉල්ලනවා. මගෙනුත් 5000ක් ඉල්ලුවා. වැඩේ කරල ගෙදරටම ගෙනත් දෙන්නම් කියලා.

වෙලාව දහවල් 2.15 විය. ඒ මොහොතේ ආසන්නයේ වූ තරුණයන් පිරිසක් ආවේගයෙන් හැසිරෙන්නට ගත්තේ ඔවුන් එහි පැමිණ පැය හතකට ආසන්නවීත් පැමිණි කාරණය කරගන්නට නොහැකි වූ බව කියමිනි.

‘‘මගේ නම ෆර්හාන්. අපි උදේ මීගමුවේ ඉඳල ආවේ. 7.30 ඉඳල මෙතන. ලයිසන් එක අලුත් කරගන්න ආවේ. වේලාව ගත වෙන එක නවත්තගන්න මෙඩිකල් වෙනම කරන් ආවා. මේක ඇතුළෙ පැය 02 න් වැඩ කරන සිස්ටම් නෑ. අපේ ෆෝන්වලට මැසේජ් ආවෙත් නෑ. ටෝකන් දුන්නට කී දෙනෙක් ඇතුළෙ අයට කියලා සල්ලිවලට වැඩ කරන් යනවද?’’

ඔවුන් කියන්නේ පෝලිම්වල සිටින අය නොම්මර පිළිවෙළට හිඳුවා තබා පිටුපස දොරෙන් මුදලට රාජකාරිය විකිණෙන බවයි. තවත් තරුණයන් පිරිසක් කියා සිටියේ ඔවුන් විභාගයට දිනයක් වෙන් කරවා ගැනීමට පැමිණ උදෑසන 10 සිට සවස 2.15 වන තුරුත් මෙම ස්ථානයේ රැඳී සිටින බව‍‍‍‍‍‍යි.

‘‘අපි කඩවත ඉඳලා ආවේ. මෙතෙන්ට එනකොට උදේ 10යි. දැන් වෙලාව 2.15.යි තාමත් අපිට විභාගෙට දිනයක් ලැබුණෙ නෑ.”

කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසූ ආකාරයට දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් තුළ පිහිටුවා ඇති දිස්ත්‍රික් කාර්යාල 24කින් සේවා ලබාගත හැකිය. මීගමුව, කඩවත යන නගර ආසන්නයේම පිහිටි ගම්පහ නගරයේ මේ පිළිබඳ දත්ත ‘‘on line’’ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාපටිපාටියද ක්‍රියාත්මකය. ගම්පහ දිස්ත්‍රික්කයට ආසන්න ජනතාවටද මෙයින් සේවය ලබා ගත හැකිය. එසේ නම් මහ ජනතාව පැය ගණන් කාලය, ශ්‍රමය, මුදල කැපකර වේරහැරටම පැමිණෙන්නේ ඇයිදැයි ප්‍රශ්නයකි. එක්කෝ ඔවුන් වේරහැරට පැමිණි අවස්ථාවේදීම ඒ පිළිබඳව දැනුවත් භාවයක් ලබාදී පිට කළ යුතු‍‍‍‍‍ය. එය එසේ නොවන්නේ නම් වරද කාගේද, කොතනකද, යන්න බලධාරීන් සොයා බලා පිළියම් යෙදිය යුතුය.

දවස පුරාවට විවිධ දේ දුටිමි. විවිධ දේ ඇසිමි. කොට්ටාවේ සිට පැමිණි අයකු කීවේ උදෑසන 10 සිට සවස 2.15 පසුවන තුරුත් මෙම පරිශ්‍රය තුළ වුවමනාව ඉටු නොවී රැඳී සිටින බවයි. ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ වැනි සියයක් මෙරට තුළ ඉපදුණද මේවායේ මඩ සෝදා හැරීමට නොහැකි බවය.

” මමයි පුතයි ආවේ පුතාට ලයිසන් ගන්න. උදේ 10 ඉඳලා තාමත් මෙතන වාඩි වෙලා ඉන්නවා. අපිට නම් මැසේජ් ආවේ නෑ. අපිට පස්සෙ ආපු VIP වාහනවල නෝනල මහත්තුරු විනාඩි 5 – 10න් වැඩ කරන් ගියා. මගේ ෆෝන් එක දෙන්නම්. අනේ බලන්න මේවාට මැසේජ් ඇවිල්ලද කියලා.”

පුදුමයකි. මේ, රටේ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ ස්ථානයක්. මෙහි නිලධාරීන්ට, බලධාරීන්ට ජනතාවට සේවය සලසන්නට ජනපති තරයේ අවවාදද කර ඇත. ඒ ඔහුගේ සේවා කාලය තුළ මේ ස්ථානය ජනතා සේවයක් බවට පත්වීමට අවශ්‍ය බව පවසමිනි. වැඩ කරගන්නට ජනතාවගෙන් මුදල් ලබාගැනීම දැඩි සේ හෙළා දැක ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බවද එතුමා කීවේය. නමුත් තවමත් මෙතැන මුදලට ප්‍රමුඛතාවය දී වැඩ කෙරෙන තැනක් බවට සාක්ෂි රැසකි. නමුත් මේ කප්පම් කාක්කන් පෙර පරිදිම යෙහෙන් වැජඹෙමින් ජනතාව ගසා කන අතර ජනපතිගේ නිරීක්ෂණ චාරිකාවෙන් දෙපාර්තමේන්තුවේ වැඩ රාජකාරිවල තුළ කිසිදු වෙනසක් නොවී ඇතිබවද පෙනෙන්නේය.

මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පැවසූ පරිදි මොවුන්ගේ පැරණි ක්‍රමවේද රීකන්ඩිෂන් වී ඇති ආකාරයක් නම් පෙනෙන්නට නැත. පුද්ගලයකුට දිනයක් වෙන් කර ගැනීම සඳහා පැය තුනක් හතරක් ගත වූ පුවතක් අප රජ කාලයේදීවත් අසා නොමැත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තවමත් ගල් යුගය තුළ අතරමං වී ඇති බවක් දක්නට ඇත. කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ තුන්සියයක් දෙනකුට එකවර සේවයක් ලබා ගත හැකි බවකි. අලුත් කවුන්ටර් විවෘත කර ඇති බවකි. නමුත් කවුන්ටර් විවෘතව ඇත්තේ VIP වාහන හිමියන්ට හා තැරැවුකරුවන් හරහා එන පුද්ගලයන්ට පමණි. අත දිග හැර කාසි පනම් විසි කළ නොහැකි මහ ජනතාව තවමත් තොල් කටවල් වේළමින් පෝලිමේය. නිලධාරීන් දෙපාර්තමේන්තුවට පිවිසෙන්නේ ප්‍රධාන පිවිසුම තුළින් නම්, ඒ අසල රෙදි කෑලි එලා නිදා සිටින මහජනතාව දැකිය යුතුමය. ලේන්සු පඩංගු ඔතාගෙන අව්ව තපින අසරණ මහ ජනතාව දැකිය යුතුමය. එලෙස දකින්නේ නම් මෙම ජනතාවට අවශ්‍ය සේවාවන් කඩිනමින් ලබා දීමට සේවකයන් හට උපදෙස් ලබා දිය හැකි වන්නේය. නිලධාරීන් අවදියෙන් සිටිනවා නම් මහ ජනතාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල කොට්ට පැදුරු එලා නිදා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. ජනතාවගේ මුදල් සූරා කන සාමාජික කල්ලි මෙය තුළ අතු රිකිලි දා වැඩෙන්නේද නැත. දෙපාර්තමේන්තුව තුළ යම් වැඩපිළිවෙළක් තිබෙනවා නම් පොදු මහ ජනතාව ඒ පිළිබඳ දැනුවත් කිරීම මෙයට වඩා ප්‍රායෝගික ආකාරයෙන් කළයුතුයි.

ලිහිණි මධුශිකා / aruna news paper.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × three =