“චීනයෙන් අපට හානියක් නැතැයි කීම චීනය ගැන නොදන්නා අයෙකුගේ හිතළුවක්..!” පූජ්‍ය ඇතිපොළ මංගල හිමි.

0
182
- Advertisement -

“චීනයෙන් අපට හානියක් නැතැයි කීම
චීනය ගැන නොදන්නා අයෙකුගේ හිතළුවක්..!”
පූජ්‍ය ඇතිපොළ මංගල හිමි.


ඇටිපොල මංගල හිමියන්ගේ මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.

“චීනය කියන රට කවදාවත් ලංකාවට නරකක් කරන්නේ නැහැ ” – මාධ්‍ය ප්‍රකාශයක් –

සංඝ සමාජයට ගියපු කලදසාවක තරම.මෙරට ඉතා කුඩාම කුඩා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ඇත්තේ බලවත් කණගාටුවකි. එයද සිත්හි තබාගෙන මෙම සටහන තබමි.මොනයම් හෝ දෙස් / විදෙස් දේශපාලන කාරණාවක් හෝ මොනයම් මාතෘකාවක් පිළිබඳව හෝ මාධ්‍ය සාකච්ඡාවක් හෝ අදහස් දැක්වීමක් කරනවිට ඒ මාතෘකාව පිළිබඳව පූර්ණ අධ්‍යනයකින් සන්නද්ධවීම ඉතා වැදගත්. එය විටෙක එම පුද්ගලයා පිළිබඳව ජනතා විශ්වාස දිනා ගැනීමටත් එම ප්‍රකාශය පදනම්ව ජනතාවට සත්‍ය අවබෝධ කර ගැනීමටත් මහත් සේ ඉවහල් වන බැවිනි .ඉහත සදහන් ප්‍රකාශය කළ භික්ෂුන් වහන්සේගේ පුරාතන හා නූතන ( Ancient and Modern China ) චීනය පිළිබඳව දැනුම කුමන තත්වයකද කියා මෙම ප්‍රකාශයෙන් මැනවින් සනාථ වීම ඉතා කණගාටුවට කාරණාවකි.

අපි මෙරට දේශපාලනය මුලුමනින්ම අමතක කර දමා චිනය දෙසට හැරෙමු. නූතන චීනය ( Morden China) වූ කලී ලෝකයේ තිබෙන ඌණ සංවර්ධිත රටවල් විනාශ කරන ආර්ථික බූවල්ලෙකි. එහි ක්‍රියාකාරීත්වය දේශපාලනමය, සමාජයමය හා ආර්ථිකමය වශයෙන් එතරම්ම භයානකය. එපමණක්ද නොව ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වන “නව ලිබරලී ආර්ථිකය” ( A New Liberal Economy ) උපයෝගි කරගනිමින් තම තමන්ගේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික බල-ව්‍යාප්ත ඉතා බලවත්ව හා ඉතා සූක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලොව රටවල් අතර චීනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එසේම යටකී බල ව්‍යාපෘතිය ආසියාවේ වේගවත් කරනු පිණිස ඇමරිකාව හා කරට කර තරග කරන රටකි චීනය . එහිලා ආසියානු රටවල් අතරින් මේ වනවිට වඩාත්ම දරුණු අන්දමින් නොඑසේනම් කවදාවත් ඉමක් කොණක් දැකිය නොහැකි අන්දමින් චීනයේ ණය උගුලට බරපතල ලෙස හසුවී ඇති ආසියානු රටක් වනුයේ ශ්‍රී ලංකාවයි . ඒ පිළිබඳව කිසිදු තර්කයක් නොමැත.

එසේම අප්‍රිකානු මහද්වීපයේ සිම්බාබ්වේ ඇතුළු බොහෝ රටවල් චීනය විසින් ඉතා සූක්ෂම ආකාරයෙන් තම ණය උගුලට හසු කරගන්නා ලදි. එසේම ණය වාරික ගෙවා දැමීමට නොහැකි වූ කල්හි චීනය විසින් සිම්බාබ්වේ ඇතුළු අනෙකුත් රටවල්වල භූමි සම්පත මහ දවල් කොල්ලකන ලදි.

චීනය ණය දෙන්නේ ඉතා සැලසුම්සහගතව බව පෙනේ. කෙටියෙන් කිවහොත් චීනය කියන්නේ “ගිනිපොලීකාරයෙක්” යයි කිවහොත් වඩාත් නිවැරදි යයි මම සිතමි.

මෙය මතුපිටින් පෙනෙන්නට නොමැති වුවද යටින් ඉතා සූක්ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ එයයි.ඔවුන්ගේ ණය ව්‍යාප්තිය ආරම්භ කරන්නේ ඉතා සූක්ෂම හා ඉතා සැලසුම් සහගතව බව පෙනේ. පළමු රටේ රාජ්‍ය නායකයාට ඩොලර් මිලියන ගණනින් කොමිස් ලබාදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ජයග්‍රහණය වෙනුවෙන් යහමින් මුදල් පොම්පකර හෝ ඔහුගේ රාජ්‍ය බලය කුමන ආකාරයකින් හෝ රටතුළ ශක්තිමත් කර ඔහුව තමන් නතු කරගනී.

දෙවැනුව ආර්ථික වීෂයයභාර ඇමතිවරයා හා නිළධාරීන්ට විවිධ වරදාන ලබා දී ඔවුන්ව කොටුකර ගනී . ඉක්බිතිව ණය හා ඔවුන්ගේ ඉතා සූක්ෂම සංවර්ධන යෝජනා ( චිනය විසින් යෝජනා කරන සංවර්ධන යෝජනා ක්‍රම කිසිවක් එම රටේ තිරසාර සංවර්ධනය පිණිස හේතුවන යෝජනා නොවන බව අප අමතක නොකළ යුතුය. බැලූ බැල්මට එම සංවර්ධන යෝජනා කෙටි කාලීන රටට හිතකර වුවද දිගු කාලීන රටට ඉතා අහිතකර බව පෙනේ. – කර්තෘ ) ක්‍රියාත්මක කිරීමට මංපෙත් විවර කරගනී. එහිලා ඔවුන්ගේ කම්කරු සම්පත, ඔවුන්ගේ විවිධ නිෂ්පාදන හා ඔවුන්ගේ තාක්ෂණික දැනුම යනාදියරටතුළට බලයෙන් රිංගා ගැනීමට අවැසි වටපිටාව තම ණය ගිවිසුම් කොන්දේසි මතින් නිර්මාණය කරගනී.

ඉක්බිතිව ආරම්භ වන්නේ ඉතා සූක්ෂම වැඩ පිළිවෙලකි. එනම්, එම ණය වාරික නිසි පරිදි ගෙවා ගැනීමට නොහැකි වන තත්ත්වයකට රට ඇඳ ඇමීමේ ක්‍රියාවලිය යි . එතැනදී තමයි ඔවුන් තමුන්ගේ ප්‍රධාන ඉලක්කය වෙත ඉතා සූක්ෂම ආකාරයෙන් ප්‍රවිෂ්ධ වන්නේ. එනම් ණය වාරික වෙනුවට එම රටේ භූමි සම්පත අත්පත්කර ගැනීමේ පියවරයි. ( මෙන්න …වර්තමාන ලංකාවට වෙලා තියෙන නස්පැත්තිය.වර්තමානයේ මෙරට තුළ කතාබහට ලක්ව ඇති එසේම ඔබවහන්සේලා මාධ්‍ය ප්‍රකාශ දෙන පෝට් සිටි – Portcity ව්‍යාපෘතියද ඉන් එකකි – කර්තෘ. )

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු හා වත්මන් පාකිස්ථානය අගමැති ඉම්රාන් ඛාන් (Imran Khan) වරක් මෙසේ පවසා ඇත. “මගේ රටේ අනාගත තිරසාර සංවර්ධන පිළිබඳ පැහැදිලි දර්ශනයක් ඇති කරගැනීම නම් පළමු අපි සියළුදෙනාටම අපගේ අනවශ්‍ය වියදම් පැහැදම් කපා හැර රට එකම වැඩපිළිවෙලකට පරිවර්තනය කර යුතුයි. එසේත් නැතිනම් අපේ අසල්වැසි මිත්‍ර රටක් වන ශ්‍රී ලංකාව වගේ චීනයේ ණය උගුලට හසුවී අපේ භූමි සම්පත නැතිකර ගත යුතුයි.” ( The Guardian ) චීනයේ පුරාතන ඉතිහාසයට ( Ancient Chinese History) හා පුරාතන ගද්‍ය පද්‍ය සාහිත්‍යයට ( Old and Modern Chinese Literature) මම මහත් සේ ආදරය කරමි. ඇලුම් කරමි. එසේම ගරු කරමි. එය වෙනමම කතාවකි. එසේම වෙනමම මාතෘකාවකි.

ඔබවහන්සේලා කටපත්ත අදින්න ඉස්සරවෙලා අඩුම තරමේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජාත්‍යන්තර දේශපාලන තොරතුරු අහන්න. එසේම කියවන්න. නොඑසේනම් වෙන්නේ ජනතාව ඉදිරිපිට සිවුරේ ගරුත්වය නැතිකර ගැනීම පමණි.එදා මෙන් මහා සංඝරත්නය කියන සෑම දෙයකටම “එහෙයි … අපේ හාමුදුරුවනේ”. කියන ප්‍රතිපත්තියක වර්තමාන මෙරට බෞද්ධ ප්‍රජාව හෝ සෙසු ප්‍රජාවව නොමැත. ඔවුන් බුද්ධිමත්ය. එසේම එදාට වඩා තොරතුරු තාක්ෂණ ( A Information Technology ) ඉතා දියුණුය. කෙටියෙන් කියනවා නම් ලොවම ඇතැඹුලකි.චීනය .. හඳට ගියත් තමුන්ගේ කොළණියක් හදාගන්නවා. ඒක චීනාගේ ස්වරූපය යි. නොඑසේනම් ස්භාවය යි. තව මොන කතාද ?හොංකොන් (Hong Kong) රට බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් චීනා විසින් මුදාගන්නා ලදි. නොඑසේනම් අත්පත් කර ගන්නා ලදී. එනමුත් චීනා තමුන්ගේ අනාගතය වෙනුවෙන් එක දෙයක් වෙනස් නොකරන ලදි. එනම් හොංකොන්හි බ්‍රිතාන්‍යයන් විසින් කරන ලද පරිපාලනය ( British Management) යි. වර්තමානයේ වුවද හොංකොන් හි ක්‍රියාත්මක වන්නේ එම පරිපාලනය යි.ලොව කිනම් හෝ රටක් ස්ථිරසාර දියුණුවක් කරා යන ගමනේදී විදෙස් ණය, ආධාර හා ආයෝජන ඉතා අත්‍යවශ්‍ය සාධක බව විශේෂයෙන් සදහන් කළ යුතු නැත. එනමුත් එයින් රට අගාධයක් කරා රැගෙන යනවා නම් ,ඒ පිළිබඳව ගැඹුරින් සිතා බැලීමත් ඉතා වැදගත් බව සිතිය යුතුය. මෝඩයා නිහඩව ඉන්න තුරු පණ්ඩිතයෙකි. එනමුත් බැරිවෙලාවත් කට ඇරියහම … ඔක්කෝම සුන්.( ප්‍රස්ථා පිරුළකි )

මෙයද … ඔබවහන්සේට මතක්කර දෙමි. මතක ඇත්නම් මතක් කරගනු මැනවි.

වර්ෂය – 2014 .දිනය-අප්‍රේල් 18.ස්ථානය – මහනුවර ජනාධිපති මන්දිරය. උත්සවය – ටෙලි නාට්‍යවේදී හා සිනමාවේදී සුදත් රෝහණ මහතා විසින් නිර්මාණය කිරීමට නියමිතව තිබුණු “සෙංකඩගල රාජසිංහ” චිත්‍රපටයේ මුහුරත් උළෙල.ප්‍රධාන ආරාධිත දේශනය – පූජ්‍ය ඇතිපොළ මංගල හිමියන් වන මම.මතක්කර දිය යුත්තේ එදා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ ගිලන්පය පානයෙන් ඉක්බිතිව ඔබවහන්සේලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කතා කිරීමට කැසකවන විට කිසියම් දුරකින් මම අමාත්‍ය ජී. එල් පීරිස් මහතා හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමගින් ලෝක දේශපාලනය හා ඇමෙරිකානු ජනාධිපතිවරණය – 2016 පිළිබඳව කතා කරමින් සිටියෙමි. මේ අතරතුරදී ජනාධිපතිතුමා සියල්ල පසෙකලා මා අසලටවිත් දෙවැනිවරට වැඳ නමස්කාර කර අපේ කතාවට එකතු විය. අපේ සුහඳ කතාබහ විනාඩි කීපයකින් එනම් ,මා ජනාධිපති මන්දිරයෙන් නික්ම යන තෙක්ම පැවතුණි.මෙන්න… භික්ෂුවකගේ උගත්කම මතින් නැගෙන බුද්ධ චීවරයේ අභිමානය හා රැස් දහරාවට හොදම උදාහරණය.

අපේ අතීත ආචාර්යය-ප්‍රාචාර්යයන් වහන්සේලා දෙශපාලඥයන්ට වඩා නොබියව සේම නොසැලී බෞද්ධ භික්ෂුවක් වශයෙන් විරාජමාන වූයේ … තම උගත්කම ,දැනුම හා ඒමතින් ගොඩනැගුණු උදාර දේශපාලන චින්තනය නියයි. එදා මෙරට බලවත් සංඝ සමාජයට තිබුණෙත් වර්තමාන සංඝ සමාජයට නැත්තෙත් මෙම “මහා සංඝ පෞරුෂය” බව මතක් කර දෙමින් මෙම සටහනට නැවතීමේ තිත තබමි. (ඉහත උදාහරණය මෙහිලා ගෙන හැර දක්වන ලද්දේ … බුද්ධ චීවරයේ අනුහස පෙන්වීමට කදිම උදාහරණයක් වශයෙන් මිස මා උලුප්පා පෙන්වීමට නම් නොවන බව මෙත් සිතින් මතක් කර දෙමි. )

අපට විවිධ දේශපාලන කියවීම ( Political Readings ) තිබෙන්නට පුළුවන්. එසේම එය තිබිය යුතුම කාරණාවක්. එනමුත් අපි අපේ ශ්‍රී බුද්ධ චීවරයේ ගුරුත්වය කිසිවිටෙක කිසිදිනෙක එසේම කිසිවකට පාව නොදිය යුතුය යන්න මගේ අදහය යි. උතුම් තෙරුවණේ ආශිර්වාදය පතමි.

~පූජ්‍ය ඇතිපොළ මංගල හිමි~