ගොවිගම – කරාව කුල ගැටුම සහ පානදුරාවාදය.

0
1709
- Advertisement -

ගොවිගම – කරාව කුල ගැටුම සහ පානදුරාවාදය.

ක්‍රිස්තියානි පාර්ශවය හා බෞද්ධ පාර්ශවය අතර ආගමික සත්‍යතාවය සඳහා ලංකාව පුරා ඇති වූ ආගමික වාද අතරින් ප්‍රධාන තැනක් ගන්නේ පානදුරා වාදයයි.

පානදුර රන්කොත් විහාරයේ අධීක්‍ෂණය හා සත්කාරකත්වය මත සිදු වූ පානදුරා වාදය අවසන් වන්නේ බෞද්ධ පාර්ශවයට වැඩි වාසි අත්පත් කරදෙමින්. එසේම අනෙකුත් වාදයන් පැවති වාද භූමිවලට වඩා සන්ත්‍රාසය දනවන හා අලංකාරත්වයෙන් ඔදවැඩුන මහේශාක්‍ය භාවයකින් වාද පිටිය පමණක් නොව, පානදුරයම සරසා තිබු බව කියැවෙනවා. අදද පානදුර නගරය හැඳින්වෙන්නේ පුනර්ජීවයේ නගරය වශයෙන්. එයට හේතු පාදක වූ සැග’වුන කාරණා විමසා බලනවිට අපිට තේරුම් ගත හැක්කේ එය මුළුමනින්ම කුළ ආරවුලක පැතිකඩක් බවයි. තවත් ආකාරයකින් කිවහොත් එය කරාව කුලයේ උත්තම භාවය හා බලය ප්‍රකාශ කරන්නට දියත් කෙරුන ක්‍රියාන්විතයක් බවයි.

මේ සඳහා අපි පානදුර පසුබිම මදක් විමසා බලමු. සාමාන්‍යයෙන් හලාවතින් ආරම්භ වුනාට පසු දකුණු ලක දක්වාම මුහුදුකරයේ හිමිකාරීත්වය කුළ පදනමකින් දරන්නේ කරාව කුළයයි. (උතුරු පළාතේ කරෙයියර් කුළය මෙයට සමාන වන අතර පසුකාලිනව ලංකාවේ දියත් වූ සන්නද්ධ අරගලයන්හි නායකයන් වූ දකුණේ රෝහණ විජේවීරත්, උතුරේ ප්‍රභාකරනුත් නියෝජනය කරන්නේ මෙම කුළයයි ) ඔවුන් බහුතරයක් කතෝලිකයන් වන්නේ එම කුළය මුහුදුකරයේ පැතිරුන නිසාත්, පෘතුගීසි ආක්‍රමණයන්ට මුලින්ම ලක් වූයේ ඔවුන් නිසාත් යන කරුණු නිසයි.

එසේ වුවද පානදුරයේ බලය තහවුරු කරගන්නා කරාව කුළවතුන් බෞද්ධාගම අතහරින්නේ නැහැ. එහෙත් ඔවුන් බටහිර බලපෑම් මත ඔවුන්ගේ ආභාෂය ලබමින් ධනපතියන් බවට පත් වෙනවා. බහුතරයක් එහිදි තෝරාගන්නේ රේන්ද ව්‍යාපාරයයි. එනම් අරක්කු නිෂ්පාදනය, අපනයනය, බෙදාහැරීම හා විකිණිම ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන සාධනිය ලක්‍ෂණය වෙනවා. මේ අනුව පානදුර නගරය කරාව කුළයේ බෞද්ධ ජනතාවගේ අධිරාජ්‍යයක්.

මේ කාලයේ බෞද්ධ සාසනය තුළ කුළ භේදය තියුණු ආකාරයෙන් ප්‍රකාශිත වෙන්නේ. ලන්දේසි යුගයේ නැවත බුරුමයෙන් උපසම්පදාව ගෙනැවිත්, සියම් නිකාය ස්ථාපිත කිරීමත්, පසුව ඉංග්‍රිසින්ගේ පාලනය තුළ ලැබුන කිසියම් ආගමික නිදහසක් නිසා සියම් නිකායේ හිමිවරුන් නැවත පහතරටට ආගමික අක්මුල් සොයමින් පැමිණිමත් නිසා මෙහි කිසියම් ව්‍යාකූල වටපිටාවක් නිර්මාණය වෙනවා.

එයට ආසන්නතම හේතුව ඒ වනවිට කරාව-දුරාව හා සලාගම යන උභය කුළ ඒකාත්මිකව සහෝදර කුළ වශයෙන් එක්ව වඩාත් ප්‍රබල ගොවිගම කුළයට බලපෑම් කිරීමයි. එසේම ඒ සඳහා අවශ්‍ය ධනයද ඔවුන් රැස්කරගනිමින් උඩරට වලව් සම්ප්‍රදායට සමාන්තර පහතරට වලව්, මන්දිර හා බංගලා ඉදිකර ගනිමින් තමුන්ගේ පදනම ශක්තිමත් කරගත්තා. මෙය උඩරට වලව් සම්ප්‍රදාය පසුකර යමින් බටහිර රටවල තිබූ සිටු මැදුරු, මන්දිර තත්ත්වයට ගෙනයන්නට ඔවුන් ගත්තේ දැවැන්ත උත්සහයක්. නමුත් ඔවුන්ට අතික්‍රමණය කරන්නට නොහැකි සාධනීය කරුණ වූයේ බුදු දහම තුළ ගොවිගම කුළයට හිමි ස්ථානය ස්ථායීව තිබීමයි.

මේ තත්ත්වය කරාව කුළයේ බොහෝ දෙනෙකුට ඍජු ගැටළුවක් නොවූයේ ඔවුන් බහුතරයක් රෝමානු කතෝලිකයන් වූ නිසා. නමුත් ඒ බහුතරයද සියුම් ලෙස බෞද්ධ සාසනය තුළ තම කුළ ආධිපත්‍යය පතුරවා හරින්නට දැවැන්ත වෙහෙසක් ගත් බව පැහැදිලියි. එයට හොඳම නිදසුන නම් කරාව කතෝලික වංශවතෙක් වූ චාල්ස් හෙන්රි ද සොයිසා තම අර්ථපතීත්වය වැලිගම ශ්‍රී සුමංගල හිමියන් විසින් රචිත කුළ පාරිශුද්ධිය ගැන කියැවෙන පොත්පත් ආදියට හොර රහසේ අනුග්‍රහය ලබාදීමයි. මේ ආකාරයෙන් කුළ තරගය අතිශයින් රුදුරු ඒ වගේම ව්‍යාකූල දෙයක් වුනා.

පානදුරයට අපි පිවිසෙන්නේ මෙවැනි පසුබිමක් තුළ. පානදුර බලය අල්ලාගෙන සිටි ජෙරමියස් ඩයස්, මතෙස් පෙරේරා, ආනෝල්ඞ් ඩයස් වැන්නවුන් සිය ආගමික කටයුතු සඳහා යාම් ඊම් කරන ලද්දේ ගල්බොඩ විහාරයටයි. ( අද කේතුමති රෝහලට ඉදිරිපසින් ඇති විහාරස්ථානය ) විවිධ කුළවලට අයත් විවිධ වංශිකයන් පන්සලට නිදහසේ පැමිණිමට අවකාශ ලබාදුන් අතලොස්සක් පන්සල් අතරේ ගලබොඩ විහාරය එක් ස්ථානයක් වුනා. නමුත් එක්තරා දිනෙක ජෙරමියස් ඩයස් වැනි කරාව කුළයට අයත් ධනවතුන් පන්සලට යනවිට එහි භුමිය කඹයක් ආධාරයෙන් දෙකට බෙදා ගොවිගම කුළයට හා ගොවිගම නොවන කුළ වලට ආදි වශයෙන් වෙන් කිරීමක් කර තිබෙනවා. මෙය කරාව කුළයේ ධනවතුන් සලකන්නේ එය තමුන්ට සිදුවන දැවැන්ත නින්දාවක් බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ගල්බොඩ පන්සල වර්ජනය කරනවා. එහෙත් ඉන් පසුව ඔවුන්ට යාමට පන්සලක් නැහැ. ඔවුන් ඒ වෙනුවෙන් විකල්පයක් සොයනවා.

කලක් ගල්වලක් වශයෙන් භාවිතා කර තිබු ස්ථානයක් මිළදී ගන්නා කරාව වංශික ධනවතුන් 18 දෙනෙක්, එහි පන්සලක් ඉදි කරනවා. අද එය රන්කොත් විහාරය වශයෙන් ප්‍රකට වුවත් ඒ කාලයේ එය හැඳින්වී ඇත්තේ ගල්වලේ පන්සල නමින්. මෙය කරාව වංශික හිමිවරුන් වැඩ සිටින අතර, සියුම්ව බලද්දි එහි ඉදිකිරීම්වල පවා බටහිර හා ක්‍රිස්තියානි ලක්‍ෂණ දැකිය හැකියි. මෙහි ආරම්භක නායක හිමිවරුන් තිදෙනා වන කතලුවේ ගුණරතන තිස්ස, බටපොල කල්‍යාණතිස්ස, වල්පිට සුමනතිස්ස යන හිමිවරුන් කරාව කුළයට අයත් වෙනවා. ඒ අතරින් කතලුවේ ගුණරතන තිස්ස හිමියෝ 1870 වසරේදි උපසම්පදාව ලැබීමට බුරුමයට ගිය ප්‍රථම භික්ෂුන් අතරින් එක් හිමිනමක්. කරාව කුළය පදනම් කරගත් රාමඤ්ඤ නිකාය බිහි කරන්නටච උන්වහන්සේ පුරෝගාමී වෙනවා.

ගල්වලේ පන්සල ඉදිකිරීමෙන් පසුව පානදුර කරාව වංශිකයන්ගේ ඊළග’ ඉලක්කය වන්නේ තමුන්ගේ පන්සල ගොවිගම කුළය විසින් පවත්වාගෙන යන ගල්බොඩ පන්සලට වඩා ඉදිරියෙන් තිබිය යුතු බවයි. මේ සඳහා ඔවුන් වඩාත් නූතනවාදී ක්‍රමවේද භාවිතා කරන්නේ ඔවුන් ලද බටහිර අධ්‍යාපනය හා චින්තනය නිසා වන්නට පුලුවන්. අවසානයේ බෞද්ධ-මිෂනාරි පර්ශව අතරේ පවතිමින් තිබූ වාදයක් රන්කොත් විහාරයේ සායකත්වය යටතේ පවත්වන්නට කරාව කුළයේ වංශවතුන් තීරණය කරනවා. 1873 වසරේදි මෙය පැවැත්වෙන්නේ අද පානදුර දුම්රිය ස්ථානයට පසෙකින් ඇති භූමි භාගයක. සත්කාරක පූජනීය ස්ථානය වන්නේ රන්කොත් විහාරයයි. නමුත් එහි පසුපස හිටියේ අතින් කටින් සල්ලි පෙරන කරාව කුළයට අයත් රේන්දකරුවන් බව පැහැදිලියි.

මෙය ආරම්භයේ සිටම දැඩි ප්‍රචාරකවාදි කටයුත්තක් ලෙසින් ප්‍රකාශිතයි. අනෙකුත් ගම්පොල, බද්දේගම වැදි වාද භූමි වලට වඩා අලංකෘත සැරසිලි, මණ්ඩප ආදියෙන් සමන්විතව මෙය විශාල ප්‍රදර්ශනාත්මක කටයුත්තක් වෙනවා. වාදය පැවැත්වෙන දින සමීප වෙන විට බෞද්ධ ජනතාවගේ සිත් කකියවන කතන්දර පවා පැතිරෙනවා. ඒ බෞද්ධ පාර්ශවයේ දැවැන්තම භූමිකාව ඉදිරිපත් කරන මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හට පානදුර වාද පිටියට පැමිණෙන්නට පළමු ජීවිත හානියක් කරන බවට විරුද්ධ පාර්ශවය විසින් සැලසුම් දියත් කර ඇති බව ප්‍රචාරය කිරීමෙන්. ඒ අනුව උඩුවියන්, තොරන් ආදිය මැදින් කරත්තරුවෙක් ලෙස වෙස් වලාගෙන ගුණානන්ද හිමියන් වාද භූමියට පැමිණි බව සඳහන් වෙනවා.
මෙවැනි සන්ත්‍රාසය දනවන පසුබිම් කතා පුවතක් නිර්මාණය වුවද, මෙහි මිෂනාරි පාර්ශවය නියෝජනය කළ වෙස්ලියානු පල්ලිය හෝ ඔවුන්ගේ ආගමික අනුගාමිකයන් පානදුර ප්‍රදේශයේ ජය කෙහෙළි නංවාගෙන හුන් බෞද්ධයන් තරම් බලවත් වූ බවක් පෙන්වන සාධක දැකිය නොහැකියි. මිෂනාරි පාර්ශවය නියෝජනය කළ දේවගැති දාවිත් සිල්වා විසින් ඉදිරිපත් කළ තර්ක පවා අනෙකුත් පැවති වාදවලදී ඉදිරිපත් වූ තර්ක විතර්ක තරම් ශක්තිමත් හෝ බලවත් බවක් පෙන්නුම් කරන්නේ නැහැ. මේ නිසාම ගුණානන්ද හිමියන්ගේ ජීවිතයට හානිකරන්නට මිෂනාරි පාර්ශවය තැත් කිරීම අතිශයෝක්තියකැයි සිතන්නට ඇති අවකාශය විශාලයි.

කුළ උදාරත්වය ප්‍රකාශ කරන්නට අවුරුද්දක්, දෙකක් හෝ එක පරම්පරාවක කාලයක් ප්‍රමාණවත් නොවන බව කරාව වංශවතුන් අවබෝධ කරගෙන සිටි බව පැහැදිලියි. ඒ නිසා මෙම අවස්ථාව මහේශාක්‍ය ආකාරයට ඡායාරූප ගතකරන්නටත්, එයට පුවත්පත් තුළින් හා හැකි සෑම ආකාරයකින්ම ප්‍රචාරයක් ලබාදෙන්නටත් ඔවුන් කටයුතු කරනවා.

බෞද්ධ-ක්‍රිස්තියානි පාර්ශව අතර පැවති වාදයන් අතරින් වඩාත්ම තියුණු, තරගකාරි, නොඉවසිලිමත් හා සන්ත්‍රාසය දනවන වාදය වන්නේ පානදුරා වාදයයි. එසේම අන් සියලු වාද ජය පරාජයකින් තොරව අවසන් වෙද්දී පානදුරා වාදය බෞද්ධ පාර්ශවයට බර තබන තැනකින් අවසන් වීමත්, එය පසුපස සිටි දැවැන්ත ධන කුවේරයන් අතරත් කිසියම් සම්බන්ධයක් තිබුනේද යන්න ගැන කුකුසක් ඇති වන තරමටම මෙම තත්ත්වය උද්වේගිකරයි.
අවසානයේ 1873 අගෝස්තු 26-28 කාලය තුළ පැවති පානදුරා වාදය ලංකාවේ සංස්කෘතිය, අධ්‍යාපනය, සමාජ හරි පද්ධතින් ආදි සියල්ල වෙනස් කරන්නට සමත් වෙනවා. ඒ පානදුරා වාදය ඇමරිකානු මුද්‍රිත මාධ්‍යයට ලියන්නේ ජේ. ඇම්. පීබල්ස් විසින්. සිලෝන් ටයිම්ස් පුවත්පතේ කර්තෘ ජෝන් කැෆර් විසින් මෙම වාදය එම මොහොතේම එඞ්වර්ඞ් පෙරේරා ලවා ඉංග්‍රිසියට පරිවර්තනය කර කුඩා පොත් පිංචක් වශයෙන් මුද්‍රණය කර නොමිලේ බෙදාහැර තිබෙනවා. පීබල්ස් අතට පත්ව ඇත්තේ මෙම පොත් පිංචක් බව පැහැදිලියි. ( ජෝන් කැෆර් ක්‍රිස්තියානු ලබ්ධිකයෙක්. එසේනම් ඔහු තියුණු ආගමික යුද්ධයක් පැවති වටපිටාවක ඔහු එවැන්නක් කළේ ඇයිද යන්න ගැටළුවක්. එසේම ඔහු එබඳු පොත් පිංචක් නොමිලේ බෙදාහරින්නට තරම් අර්ථපතිත්වයක් ලැබුවේ කෙසේද ආදියත් මෙහිදි සැලකිල්ලට ගැනීම වැදගත්. )

කෙසේ වුවත් පීබල්ස්ගේ ලිපිය කියැවූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් නම් විඥානාර්ථවේදියා ලංකාවට පැමිණෙන්නේ ඒ අනුව. 1880 වසරේදි ඔහු හෙලේනා බ්ලැවැට්ස්කි මහත්මිය සමග ලංකාවට පැමිණෙන අතර ඔවුන් බුදු දහම වැළඳ ගනු ලබනවා.

මේ ආකාරයෙන් රන්කොත් විහාරය, පානදුරා වාදය සමග බෞද්ධ කරාව කුළය එකිනෙක වෙන් කළ නොහැකි අන්දමින් පානදුර නගරය සමග බද්ධ කරන්නට ධනේෂ්වර කරාව වංශිකයෝ කටයුතු කළ බව පැහැදිලියි. මෙය පානදුරට පමණක් නොව, ඉන් පසුව එය කළුතර දිස්ත්‍රික්කයටද පතුරවන්නට ඔවුන් සමත් වූ බව පෙනෙන්නේ පානදුර සිට පැමිණි කරාව වංශික ධනවතුන් වූ විල්මට් ඒ. පෙරේරා, ඒ. පී. ජයසූරිය, චම්ලි ගුණවර්ධන වැන්නවුන් දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද තමුන්ගේ බල අධිකාරිය ඒ පලාත්වල විහිදුවන්නට කටයුතු කළ බැව් පැහැදිලියි. නමුත් ඔවුන් පානදුර බල ප්‍රදේශයේ තම ඒකාධිකරය තබාගන්නට සමත් වන්නේ කිසිදු අවස්ථාවක බෞද්ධ කරාව නොවන මහජන නියෝජිතයෙකුට පත්වන්නට ඉඩ නොදීමෙන්. සමානුපාතික චන්ද ක්‍රමය එන්නට පෙර පානදුර මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කළ සියලුම මහජන නියෝජිතයන් බෞද්ධ කරාව වංශිකයන්. පසුකාලිනව පානදුර නියෝජනය කළ රෙජිනෝල්ඞ් කුරේට පවා පානදුර මහජන නියෝජිතයා වන්නට අවස්ථාව සැලසෙන්නේ බුදු දහම වැළඳ ගැනීමෙන් පසුවයි. අදත් අභිමානයෙන් කියැවෙන පුනර්ජීවයේ නගරය යන යෙදුම තුළ කරාව වංශිකයන්ගේ ආධිපත්‍යය සැගව ඇත්තේ ඒ ආකාරයට.

වජිර කස්තුරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + five =