ගව ඝාතනය තහනම් කළ විට කිරිගොවියා; මරණය තෙක් හරක් නඩත්තු කරන්නේ කෙසේ ද..?

0
589
- Advertisement -
Share
5 / 100

ගව ඝාතනය තහනම් කළ විට
කිරිගොවියා; මරණය තෙක් හරක් නඩත්තු කරන්නේ කෙසේ ද..?

වෛද්‍ය වසන්ත බණ්ඩාර.


<අරුණ පුවත්පතෙන් උපුටා ගත් ලිපියකි.
ලිපියේ මාතෘකාව පමණක් වෙනස් කර තිබේ.
>

පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතනය නීතියෙන් තහනම් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත් විය. එවැනි යෝජනාවක් සමාජයේ යම් අන්තවාදී මතධාරී පාර්ශ්වවලින් වරින් වර ඉදිරිපත් වුවත් මෑත කාලීනව ඒ සඳහා සමාජයෙන් ප්‍රබල බලපෑමක් එල්ල වූයේ නැත. ඒ අනුව විසඳීම සඳහා දහසක් ප්‍රශ්න තිබියදී හදිසියේ මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වන්නේ කුමක් නිසාදැයි පැහැදිලි නැත. හේතුව කුමක් වුවත් ඒ තීන්දුව ගැනීමේ දී ඊට අදාළ පුළුල් ආර්ථික සහ සමාජීය පැතිකඩ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදු කොට නැති බව තේරුම් ගැනීම අමාරු නැත.

ගවයා පූජනීය වූ ඉන්දියාවේ පවා ගව ඝාතනය තහනම් නැත.

ගව ඝාතනය තහනම් කළ යුතු බවට විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන දේශපාලන සටන් පාඨය සහ ගවමස් ආහාරයට ගැනීම අධෛර්යමත් කිරීම හෝ පොදුවේ මාංශ භක්ෂණයට එරෙහිවීම අතර විශාල වෙනසක් ඇත. එම සටන් පාඨය බොහෝ විට ආගම, දේශපාලන අවියක් ලෙස යොදා ගත් අන්තවාදි පිරිස් විසින් ඉහළට ඔසවන ලද්දකි. පසුගිය කාලයේදී භික්ෂූන් වහන්සේ නමක් යොදාගනිමින් ගව ඝාතනය තහනම් කරන ලෙසට බල කරමින් සියදිවි නසාගැනීමට සලස්වා රජයට එරෙහිව බෞද්ධ විරෝධයක් ඇවිලවීමට ගනු ලැබු උත්සාහය එවැනි එක් අවස්ථාවකි. අනගාරික ධර්මපාලතුමා පවා ” ගව මස් නොකනු ” යන සටන් පාඨය යොදා ගනු ලැබුවේ ගවමස් බුදින සහ මත්පැන් පානය කරන බටහිර සංස්කෘතිය පිටුදැකීම සඳහා මිස ආගමික අන්තවාදී ප්‍රවණතාවක් ‍ලෙස නොවේ. ගවයා පූජනීය වස්තුවක් වන ඉන්දියාවේ පවා ගව ඝාතනය තහනම් කිරීම සඳහා නීති පනවා නැත.

නමුත් කිරි දෙනුන් මැරීම වැළැක්වීම සඳහා බලවත් නීති ඉන්දියාවට වඩා අප යොදා ගන්නා බව සත්‍යයකි. ඉන්දියාවේ ගවයන් රංචු පිටින් පාකිස්තානයට සහ බංගලාදේශයට දේශ සීමා හරහා මස් පිණිස දක්කාගෙන යාමට එරෙහිව ඔවුන් පියවර ගන්නේ නැත. ඊට හේතුව ආර්ථික හේතු මත අතිරික්ත සතුන්ට වෙළෙඳපළ වටිනාකමක් ලබා ගැනිමට උවමනා වීමය. ලෝකයේ අපනයනය කරන හරක් මස් ප්‍රමාණයෙන් 15%ක කොටස ගවයාට දේවත්වයෙන් සලකන හින්දු භක්තිකයන් බහුතරයක් සිටින ඉන්දියාව සතු වේ. කිරි ගැනීමට නොහැකි සතුන්, පිරිමි සතුන් සහ මසට ගත හැකි ලෙඩ සහිත සතුන් මරණය තෙක් නඩත්තු කළ හොත් ගොවියාට කිරි ගොවිතැන ලාභදායී ලෙස පවත්වා ගත නොහැක. කිරි ගොවිතැන පවතින්නේ කිරි ආදායම මෙන්ම අතිරික්ත සතුන්, සෙසු කිරි ගොවීන්ට සහ මස් පිණිස විකිණීම යන ප්‍රධාන අංග ත්‍රිත්වය මතය. ඒ අනුව මස් පිණිස ගවයන් මැරීම නීතියෙන් තහනම් කළ විට කිරි ගොවිතැන ව්‍යාපාරයක් ලෙස කරගෙන යාම අධෛර්යමත් වේ . ඒ අර්ථයෙන් ගත් විට විදේශීය කිරි පිටි සමාගම් එම යෝජනාව පිළිබඳව බෙහෙවින් සතුටු වන බවට සැකයක් නැත..

සියලු මස් වර්ග ආහාරයට ගැනීම සීමා කිරීම උසස් පරිසර හිතවාදී ගුණයකි

කෙසේ වෙතත් ධාන්‍ය සහිත සාන්ද්‍ර ආහාර මඟින් ගවමස් කර්මාන්තයක් පවත්වා ගෙන යාම පිළිබඳව ලෝකයේ බලවත් විරෝධයක් ඇත. එහිදි ගව මස් කි.ග්‍රෑම් එකක් නිපදවීම සඳහා ධාන්‍ය කි.ග්‍රෑම් 8 ක් වැය වේ. ඒ අතර කුකුල් මස් කි.ග්‍රෑම් එකක් සඳහා ධාන්‍ය කි.ග්‍රෑම් 4 ක් වැය වේ. ලෝකයේ වනාන්තර වැඩි වශයෙන් විනාශ වන්නේ සහ පස සෝදා ගෙන යාම නිසා පසට හානි සිදු වන්නේ ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ මස් කැමේ පෙරේතකම නිසා බව අද ලෝක ආහාර සංවිධානය පවා පිළිගනී. ස්වාභාවිකව පවතින තණකොළ සහ කෘෂි අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා සතුන් මඟින් එපමණ පරිසර විනාශයක් සිදු නොවේ. නමුත් මසට ගත හැකි ඵලදායි නොවන සතුන් මරණය තෙක් නඩත්තු කිරීම මඟින් ඵලදායි සතුන්ට තිබෙන ආහාර ප්‍රමාණය අඩු වේ. එසේ වුවත් අප රටේ සහ ඉන්දියාවේ ඉඩ කඩ සහිත ඉඩම්වල වයසක කිරි දෙනුන්ට සත්කාර කරමින් මරණය තෙක් නඩත්තු කිරීම සුලභ තත්ත්වයකි. එය සංස්කෘතික වශයෙන් උසස් ක්‍රියාවක් මිස නීතිය මඟින් පොළඹවන්නක් නොවේ. ගොවියාට කිරිවලින් ඉහළ ආදායමක් ලැබේ නම් කිරි දුන් සතුන් වයසට ගිය විට උන් නොමරා මරණය තෙක් නඩත්තු කිරීම ආර්ථික වශයෙන් ගැටලුවක් නොවේ. ඒ නිසා තමාට ආදායම් ඉපද වූ සතුන් මරා දැමීම හෝ මසට විකිණීම උසස් මිනිස් ගුණයක් නොවන බව මෙන්ම ගව මස් පමණක් නොව සියලු මස් වර්ග ආහාරයට ගැනීම සීමා කිරීම යනු උසස් පරිසර හිතවාදී ගුණයක් බව රටේ බහුතරයක් වන බෞද්ධයන්ට වටහා දීම අමාරු නැත. එවැනි උසස් සංස්කෘතියක් දිරිමත් කිරීම සහ ගව ඝාතනය නීතියෙන් තහනම් කිරීම අතර බරපතළ වෙනසක් ඇත.

ඊට අමතරව ලෝකයේ ආහාර සුරක්ෂිතතාව රැකෙන්නේ තෝරාගත් ආහාර කිහිපයක තොගය වැඩි කිරීමෙන් නොවේ. එසේ කිරීම බෙහෝවිට පරිසරයටද හානිකර විය හැක. ආහාර සුරක්ෂිතතාවය රැකෙන්නේ ආහාර විවිධත්වය තුළිනි. මිනිසාට ආහාරයට ගත නොහැකි සහ නොදිරවන තණකොළ ඒවා දිරවන ජෛව මැෂිමකට ලබා දි ඒ මගින් කිරි ලබා ගෙන බීම සහ කෑම මෙන්ම ඵලදායි නොවන සතුන්ගෙන් මස් ලබා ගැනීමද ආහාර සුරක්ෂිතතාවයට වැදගත් වේ. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට ධාන්‍ය බහුලව සතුන්ට කවා මස් නිපදවීම මගින් ආහාර සුරක්ෂිතතාව අනතුරට වැටෙයි. එසේම අධික මස් කැම මඟින් මහජන සෞඛ්‍යය ද අනතුරට වැටෙන බව රහසක් නොවේ. කෘෂි අපද්‍රව්‍ය ආහාරයට ගන්නා ගවයන්ගේ මස්වලට විකල්පයක් ලෙස සාන්ද්‍ර ආහාර ලබාදීම මගින් නිපදවන කුකුල් මස් හෝ වෙනත් මස් වර්ග ආදේශ කිරීම මගින්ද රටේ ආහාර සුරක්ෂිතතාවට අගතියක් සිදු වේ. ඒ නිසා ගවයන් නොමැරීම හෝ ගව මස් ආහාරයට නොගැනීම මගින් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඊට අමතරව නොපෙනෙන තැනක, එනම් සැතපුම් 14 ක් දුරින් පිහිටි ඉන්දියාවේ දී මරණ ලද ගවයකුගේ මස් ශ්‍රී ලංකාවට ආනයනය කොට ආහාරයට ගැනීම මගින්ද ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඒ මගින් ආණ්ඩුවට හිතවාදී මස් ජාවාරම්කරුවන්ගේ ප්‍රශ්නය නම් විසඳෙනු ඇත.

මස් ජාවාරම පිටුපස සිටින්නේ දේශපාලන බලවතුන්

කෙසේ වෙතත් අශිෂ්ට ලෙස සහ හිංසාකාරී ලෙස ගවයින් මැරීම, කිරි දෙනුන් මැරීම, මස් ගාත කොකුවල එල්ලා අශෝබන ලෙස විකිණීම, දරුවන් ව්‍යාජ පෝෂණ හේතු මත අධික ලෙස මස් කෑමට පෙළඹවීම, ලෙඩ සතුන් මරා විකිණීම, බිලි පූජා සඳහා සතුන් මැරීම ආදිය වැළැක්විය යුතුය.ඒ සඳහා දැනටමත් රටේ නීති පවතින අතර ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩුකම් තිබිය හැක. ඵලදායි සතුන් මැරිම වැළැක්විම කිරි ආර්ථිකය දියුණු කිරිම සඳහා වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි. නමුත් අද කොළඹ නගර සභාව යටතේ පවා දිනකට සිය ගණනක් වටිනා කිරි දෙනුන් සහ මී හරක්, මස් පිණිස ඝාතනය කෙරෙන බව රහසක් නොවේ. දැනටමත් අප රටේ එය නීති විරෝධී වේ. එය නැවැත්වීම සඳහා අවශ්‍ය වන්නේ මහජනයා දැනුවත් කිරිම සහ යම් පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමය. විශේෂයෙන්ම එම මස් ජාවාරම පිටුපස සිටින දේශපාලන බලවතුන් මැඬපැවැත්වීමය.

කිරි ගවයින් මැරීම නීතියක් පමණක් කළ නොහැක

කිරි ගොවිතැන දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍යය පූර්ව කොන්දේසියක් වන කිරි දෙනුන් සහ කුඩා ගැහැනු සතුන් මැරීම වැළැක්වීම නීතියෙන් පමණක් කළ නොහැක. එවිට ගොවියාට ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන්ම ඒ මඟින් ගවමස් වෙළෙඳුන්ට ගොවියා ගසා කෑමට ඉඩ ලැබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල කිරි ගොවිතැන වැදගත් වන්නේ ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කිරීම සඳහාය. ඉන්දියාවේ ග්‍රාමීය ජනතාවගෙන් 70% ක් කිරි ගොවිතැනෙහි නියුක්තව සිටිති. ඊට අමතරව කිරි කෑම සහ බිම මගින් රටේ ආහාර තොගය වැඩි වීම නිසා රටේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය වීමට අමතරව ගොවි පවුල්වල පෝෂණ තත්ත්වයද වර්ධනය වේ. ශ්‍රී ලංකාවේ ගොවීන්ගේ 75% කට හිමිවන්නේ අක්කර දෙකකට අඩු ගොවිබිම් ප්‍රමාණයකි. ඒ නිසා ඔවුන්ගේ ආදායම් වැඩි කළ හැක්කේ බෝග වගාව සමග කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීමෙනි. ඊට අමතරව ඒ මගින් ගොවියා කාබනික වගා ක්‍රම වලට පුරුදුවන අතර ගෙවතු වගාවට ගොම යොදා ගැනීම මගින් වස විෂ නැති ආහාර තොගය ද වැඩිවේ. ඒ මගින් රසායනික පොහොර භාවිතය ද අඩුකර ගත හැකි අතර පස සංරක්ෂණය කෙරෙන ගොවිතැන් ක්‍රම වලට ගොවියා පුරුදු වේ.

ඉහත සඳහන් කළ පරිදි කිරි ගොවියා විසින් කිරි දෙනුන් මසට විකිණීම හෝ එම සතුන් මැරීම නීතිය මගින් තහනම් කිරීමෙන් පමණක් ගව ඝාතනය වැළැක්විය නොහැක. ඊට හේතුව දුප්පත් ගොවීන්ට හදිසි මුදල් අවශ්‍යතාවයකදී විකිණීම සඳහා ඇති එකම දේපළ ගවයා වීමය. ඒ නිසා ඵලදායි සතුන් මසට විකිණීම වැළැක්වීම සඳහා ඉතා දියුණු ක්‍රමවේදයක් යොදා ගත හැක. එය හඳුන්වන්නේ ” මුදා ගැනීම ” හෙවත් Salvage යනුවෙනි. එහිදි රජය සහ බොහෝ විට වෙනත් වාණිජ ක්‍රියාකාරකම්වල නියුක්ත ස්වේච්ඡා සංවිධාන විසින් විශාල ගොවිපළවල් යොදා ගනිමින් විකුණන ඔනෑම ගවයෙක් බර අනුව නියමිත මිලකට මිලදී ගනු ලැබේ. ඉන්පසු ඵලදායි සතුන් වෙන්කොට ඵලදායි නොවන නිරෝගි සතුන් පමණක් බලපත්‍රයක් යටතේ ගව ඝාතනාගාරවලට නිකුත් කෙරෙයි. එහිදි ඵලදායි සතුන් නැවත මිලදී ගත් මිලටම වෙනත් ගොවියෙකුට විකිණීම, කිරි ගැනීම හෝ අභිජනනය සඳහා යොදා ගැනීම සිදු වේ. ඒ අනුව ගව ඝාතනය අවම කළ හැක්කේ කිරි ආර්ථිකය වඩාත් සංයුක්තව දියුණු කිරිම මගින් මිස නීතියෙන් තහනම් කිරීම මගින් නොවන බව පැහැදිළි වේ.

කිරි ගොවි අභිජනන ප්‍රතිපත්තියක්

අප රටේ යම් ජනකොටස් ඔවුන්ගේ අරාබි මූලයන්ගෙන් පැවත එන සංස්කෘතික ලක්ෂණ අනුව වැඩි වශයෙන් මස් අනුභව කරන බව රහසක් නොවේ. ඒ නිසා ඔවුන්ගේ ජීවන ක්‍රමය පවත්වාගෙන යාමට ඉඩ දීමද ආර්ථික ක්‍රියාවලියේම කොටසක් බවට පත් වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කිරි ආර්ථිකය දියුණු කිරීමට එරෙහිව පවතින ප්‍රධාන බාධක කිහිපයක් ඇත. ඒවා මෙසේ හඳුනා ගත හැක. පළමු වැන්න ආනයනික කිරි පිටිවලට බදු සහන ලබා දීම, ෆාම් තෙල් සහිත බාලකිරි ආනයනයට ඉඩ දීම, එම බාල කිරි පිටි දියකර දියරකිරි ලෙස විකිණීමට සහ යෝගට් හැදීමට ඉඩදිම මෙන්ම ආහාර පනත උල්ලංඝනය කරමින් ආනයනික කිරි පිටි අයුතු ලෙස ප්‍රචලිත කිරීමය. දෙවැන්න රජයේ විශාල ගොවිපළ මගින් ආදර්ශ කිරි ගව අභිජනන සහ කිරි නිෂ්පාදන ව්‍යාපෘති දියත් නොකිරීමය. එදා බණ්ඩාරනායක මැතිනිය විසින් පශු සම්පත් මණ්ඩලය පිහිටුවන්නේ කිරි ගවයින් අභිජනනය කොට ගොවීන්ට ලබා දීමේ මූලික අවශ්‍යතාව ඉටුකිරීම සඳහාය.

එසේ ජාතික කිරිගව ව්‍යාපෘතියක් දියත් කොට ශ්‍රී ලංකාවට ආවේණික කිරි ගවයකු නිර් මාණය කිරීම සහ එම සතුන් බෝ කොට ගොවීන්ට ලබා දීම යන මූලික අවශ්‍යතාව ඉටුනොකර එය යටපත් කිරීම සඳහා පිටරටින් ලෙඩ ගවයන් ආනයනය කිරීම බලවත් වරදකි. ඒ මගින් න්‍යායාත්මකව සත්‍යවශයෙන්ම කළයුතු දේ යටපත් වූ අතර රු. මිලියන. 12,000 ක පමණ රාජ්‍ය මුදල් නාස්ති විය. ඊට අමතරව පිටරට ලෙඩ ලංකාවට පැමිණීම පමණක් නොව එම සතුන් මිලදී ගත් ගොවීන් ණයකාරයින් වි අමාරුවේ වැටිම ද සිදුවිය. ඊට අමතරව අපගේ ගව පට්ටිය තුළ ක්‍රමයෙන් අවම කළ යුතු යුරෝපිය සම්භවය සහිත සතුන්ගේ ජාන සංයුතියද ඒ මගින් වර්ධනය වේ. යුරෝපීය ජාන සහිත සතුන් නිපදවන කිරිවල A1 පෝෂණය අධික නිසා සෙම් අමාරු ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියක් මතුවේ. නමුත් දේශීය සතුන්ගේ A2 නැමැති ” හොඳ ප්‍රෝටීනය බහුලව ඇත. ” ඒ අනුව වෙළඳපොළ අවශ්‍යතාවයට අනුව අප රටේ කිරි ගොවි අභිජනන ප්‍රතිපත්තිය තීරණය විය යුතු බව පැහැදිලිය. එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, ගව ඝාතනය තහනම් කිරීම තරම් පහසු නැති බවද පැහැදිලිය.

කිරි පිටි කර් මාන්තශාලා ප්‍රමාණය අඩු බැවින් නිපදවන ඕනෑම කිරි තොගයක් මිලදී ගැනීමේ හැකියාව නොමැතිවීම තුන්වන බාධකය ලෙස හඳුනා ගත හැක. ඒ මගින් අමු කිරි මිල පහත වැටෙන අතර ගොවියා කිරි ගොවිතැන වර්ධනය කිරීමට මැළි වේ. අප රටේ ගව රංචුව ලක්ෂ 15 ක් වුවත් ඉන් කිරි ගන්නේ ලක්ෂ 3 කටත් අඩු සතුන් ප්‍රමාණයකිනි. කිරි ගව පාලනයට උනන්දුව ඇතිවන්නේ සහ සතුන් හොඳින් බලාගන්නේ කිරි වලට හොඳ මිලක් ලැබේ නම් පමණි. සතුන් හොඳින් බලා ගන්නේ නම් විශේෂයෙන්ම රාත්‍රියට ඉතිරිවන තරමට තණකොළ සහ වතුර ලබා දෙන්නේ නම් කිරි නිෂ්පාදනය දෙගුණයක් කළ හැකි බව (දැනට සිටින සතුන්ගෙන් පමණක්) පර්‌යේෂණ මගින් ඔප්පු වි ඇත. නමුත් එම තත්වයන් වෙනස් කිරීම සදහා සංවිධිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම වෙනුවට පිටරටින් මසට විකුණන හරක් කිරි දෙවීම සඳහා යැයි අප රටට ආනයනය කිරීම හෝ ගව ඝාතනය තහනම් කිරීම වැනි අහඹු තීන්දු මගින් කිරි ගොවියා හෝ කිරි ගවයා රැක ගත නොහැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + thirteen =