කොළඹ, ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනියක් සුදු වෑන් රථයකින් පැහැරගෙන.

0
2299
- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ස්විට්සර් ලන්තයේ ජිනීවා නුවර බලා පිටව ගියේ කෙසේද කියා දැන ගැනීම සදහා, ස්විස් තානාපති කාර්යාලයට අනුයුක්තව සේවය කළා කාන්තාවක්, කිසියම් පිරිසක් විසින් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවට වූ පුවතක් වෙබ් අඩවි කිහිපයකම වාර්තා වී තිබුණි.

හෙඞ් ලයින් නිවුස් අපි, ඒ පිළිබදව අපගේ වෙබ් අඩවියේ පළ නොකර සිටියේ, ප‍්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය පිළිබදව පැහැදිලිතාවක් අපට නොතිබුණු බැවිනි. කෙසේ වෙතත්, අදාල ප‍්‍රවෘත්තියක් සත්‍යයක් බව දැන් තහවුරු වී තිබේ.

මේ පුවත මුලින්ම අප දුටුවේ ලංකා නිවුස් වෙබ් නම් පුවත් වෙබ් අඩවියෙනි.
පහතින් පළ වන්නේ, ලංකා නිව්ස් වෙබ් – පුවත් අඩවිය අදාල ප‍්‍රවෘත්තිය තහවුරු කර ඇති ආකාරයයි.

පැහැර ගැනීමක් පිළිබඳ ලංකා නිව්ස් වෙබ් අනාවරණය ස්විස් වෙබ්අඩවියක් විසින් තහවුරු කරයි!

මීට දිනකට (26) පෙර ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරිනියක පැහැර ගැනීමක් පිළිබඳ පුවතක් ලංකා නිව්ස් වෙබ් අප විසින් ඔබට හෙලිදරව් කළෙමු.

එම හෙලිදරව්ව සනාථ කරමින් ස්විට්සර්ලන්ත වෙබ් අඩවියක් වන SWI විසින් අද දින නිකුත් කළ වාර්තාවක මෙම පුවත පිළිබඳ වැඩිදුර තොරතුරු දැක්වෙයි. 

එම වෙබ් අඩවිය වාර්තා කර තිබූ අන්දමට ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය ඉහත සිදුවීම තහවුරු කර ඇති අතර, මෙකී තාවකාලික පැහැර ගැනීමට ලක්වූ කාන්තාව ඔස්සේ ස්විස් තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට එම නාඳුනන කණ්ඩායම විසින් උත්සාහ කොට තිබේ.

එමෙන්ම, මේ පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් වහා දැනුවත් කිරීමට කටයුතු කර ඇති ස්විට්සර්ලන්ත රජය සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටි බවට එරට විදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක පියරෙ-ඇලන් එල්ෂින්ගර් මහතා සඳහන් කර ඇති බවට එම වෙබ් අඩවිය වාර්තා කරයි. පැහැර ගැනීමේ සිද්ධියට අදාල අපගේ අනාවරණය සතු තොරතුරු ද උපුටා දක්වා ඇති එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති එරට විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇති බවයි. 

පැහැර ගැනීමට ලක්වූ කාන්තාව පැය කිහිපයක කාලයකින් පසුව එකී නාඳුනන කණ්ඩායම විසින් නිදහස් කොට එවූ බවත්, මෑතකදී ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ (නිශාන්ත සිල්වා) මහතා පිළිබඳ තොරතුරු විමසීමක් සිදුව ඇති බවත් අප මීට පෙර හෙලිදරව් කළෙමු.

ස්විට්සර්ලන්ත පුවත්පතක් වන Neue Zürcher Zeitung (NZZ) උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර සිටියේ පැහැර ගැනීමට ලක්වූ කාන්තාවගෙන් ලබා ගැනීමට උත්සාහ කළ තොරතුරු වලට අදාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී රටින් පලා යාමට ඔහුට එල්ල වී තිබූ මරණ තර්ජන හේතුවී ඇති බවය.

මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී පෙර පැවති රජයක ඉහල නිලධාරීන් හට එල්ල වී ඇති දූෂණ හා මානව හිමිකම් උල්ලංඝන චෝදනා වලට අදාල විමර්ශන කටයුතු වල නියළුනු නිලධාරියකු බවට NZZ පුවත්පත විසින් වාර්තා කර ඇති බව ද එම වෙබ් අඩවිය සඳහන් කරයි. මීට අමතරව එම නිලධාරියා ස්විට්සර්ලන්තයට පලා යාමෙන් පසුව සරණාගත පදනම (asylum) මත එරට පදිංචිභාවය අපේක්ෂා කරමින් සිටින බව ද එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් අප රජයේ ප්‍රකාශකවරයෙකුගෙන් විමසූ බවත් එවැනි සිදුවීමක් සිදුව ඇති බවට ඔහු තහවුරු කරන ලද බවත් ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති මේ සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා මුණ ගැසීමට නියමිතව තිබූ බවත් අප මීට පෙර ඔබට වාර්තා කළෙමු. 

SWI (swissinfo.ch) යනු ස්විට්සර්ලන්තයේ ප්‍රකට පුවත් වෙබ් අඩවියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 6 =