කොරෝනා වලින් පසු දේශීය තරග පිටිය ජූලි 14 දා ඇරඹෙයි

0
167
- Advertisement -
Share

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මාර්තු මස සිට නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළිත් මෙම මස 14 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම තරගාවලිය අදාළ වෛරස් තත්ත්වයෙන් පසු මෙරට ආරම්භ කරනු ලබන පළමු ක්‍රිකට් තරග ඉසව්ව බවට පත්වන අතර එය ලබන අගෝස්තු මස 03 වැනිදා වන විට පවත්වා අවසන් කිරීමට තරගාවලි සංවිධාන කමිටුව බලාපොරොත්තුවෙන් පසුවේ.

කොරෝනා වෛරස් තත්ත්වයෙන් රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අංශයේ උපදෙස් යටතේ මෙම ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තරගවලට ක්‍රීඩා කිරීමේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී තිබෙන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර සිටින ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර තිබෙන අතර කරුණු 4 ක් ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබේ.

පන්දුව සමඟ සම්බන්ධ වන හැකි සෑම අවස්ථාවකදීම දෑත් විෂබීජ නාෂක දමා විෂබීජහරණය කිරීම, පන්දුව ඇල්ලීමෙන් පසු ඇස් – නාසය සහ මුඛ ස්පර්ෂ නොකිරීම, පන්දුව පිරිමැදීමේදී කෙළ භාවිතා නොකිරීම සහ පන්දුව හැසිරවීමේදී විනිශ්චයකරුවන් අත්වැසුම් පැළඳීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වීම එම කරුණු අතර ප්‍රධාන වී තිබේ.

ඊට අමතරව ක්‍රීඩාංගණය තුළ මෙන්ම ඉන් පිටතදී ක්‍රීඩකයින් හැසිරිය යුතු ආකාරයන් පිළිබඳවද කරුණු කීපයක් එක් කර තිබේ. එහිදී ක්‍රීඩකයින් සහ විනිසුරුවන් අතර පිටිය තුළ වූ සමාජ දුරස්ථ භාවය පවත්වාගත යුතුවීම, ක්‍රීඩකයින් භාවිතා කරන භාණ්ඩ (හිස්වැසුම්, තුවා, අවු කණ්නාඩි වැනි දෑ) මින් ඉදිරියට විනිසුරුවන් අතට ලබා දිය නොහැකි වන අතර අනවශ්‍ය ලෙස පිටිය තුළ ක්‍රීඩකයින් ශරීරි සම්බන්ධතාවලින් වැළකී සිටිය යුතුවීම පිටිය තුළ අනුගමනය කළ යුතු කරුණු අතරට එක් කොට තිබේ. ක්‍රීඩා ගාර භාවිත කිරීමේදී සියළුම ක්‍රීඩකයින්, අවම වශයෙන් කාමර සහ නාන කාමර භාවිතා කිරීමට කටයුතු කිරීම, හැකිතරම් නිවසේදී ස්නානය කිරීමට ක්‍රීඩකයින්ව දිරිමත් කිරීම, සමාජ දුරස්ථ භාවය සහ ක්‍රීඩා ගාර දොරවල් හැකිතාක් විවෘත කොට තැබීම පිටියෙන් පිටත අනුගමය කළ යුතු කරුණු ලෙසින් සඳහන් කර තිබේ.

යළිත් දේශීය ක්‍රිකට් වසන්තය ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේ අනුගමනය කළ යුතු කරුණු අතරට තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණය ඇතුළත් කිරීමද සීමා කර තිබෙන බවත් එහිදී එම ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි සංඛ්‍යාවෙන් 20% කට පමණක් තරග නැරඹීමේ අවස්ථාව හිමිවන බවයි.

“ක්‍රීඩා සමාජ සමඟ කළ සාකච්ඡාවලින් පසු අපි ජූලි 14 වැනිදා මේ තරගාවලිය ආරම්භ කරන්න කටයුතු යොදලා තියෙනවා. එය අගෝස්තු 03 වැනිදා වන විට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තරග පැවැත්වීමේදී අයි.සී.සී.ය දැනුම් දී තිබෙන පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අංශ විසින් ලබා දීලා තියෙන උපදෙස් හරියටම ක්‍රියාත්මක කරමින් ඉතිරි තරග පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා”යැයි ද ඈෂ්ලී ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මාර්තු මස වන විට ටියර් A තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කිරීමට තරගාවලි සංවිධාන කමිටුවට හැකියාව ලැබුණු නමුත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් රට වසා දැමීමට පෙර මාර්තු 16 වැනි දින සියළු ක්‍රියාකාරකම් නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − two =