කොටි සංවිධානය විසින් වලදැමූ රත්තරන් ගොඩ ගැනීම සඳහා සුඛෝපභෝගී කාර් රථවලින් පැමිණි සැකකරුවන් 14ක් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට

0
1174
- Advertisement -

යුද සමයේදී කොටි සංවිධානය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වලදැමූ රත්තරන් ගොඩ ගැනීම සඳහා සුඛෝපභෝගී කාර් රථවලින් පැමිණි සැකකරුවන් 14 දෙනෙකු අධිබලැති ස්කෑනින් යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ රැසක් සමඟින් අද (27) අලුයම අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවා.

පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු ශිවනගර් 7 වන පටුමග ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් ස්කෑනින් යන්ත්‍රය යොදා ගනිමින් රත්තරන් ගොඩ ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සුඛෝපභෝගී කාර් රථ 3ක්, අධිතාක්ෂණයෙන් යුත් ස්කෑනින් යන්ත්‍රයක්, එම ස්කෑනින් යන්ත්‍රයට භාවිතා කරන උපකරණ රැසක්, වීඩියෝ කැමරා, ෆෝකස් ලියට් , වයර් රෝල් , ලැප්ටොප් එකක් ඇතුළු උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිංහල අයෙකුත් , මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකුත් දෙමළ සැකකරුවන් 11 දෙනෙකු වන අතර එම සැකකරුවන් යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, ගලේවෙල, මුලතිව් පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මූලික පරික්ෂණ කටයුතු වලින් අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසුවා.