“ඖෂධ මිල අඩු කරනවා කියා පසුගිය රජය කර ඇත්තේ ජනතාව රැවටීමක්.” රාජ්‍ය ඇමති චන්න ජයසුමන.

0
254
- Advertisement -
Share

ඖෂධ මිල අඩු කරනවා කියා
පසුගිය රජය කර ඇත්තේ ජනතාව රැවටීමක්.
රාජ්‍ය ඇමති චන්න ජයසුමන.

අරුණු පුවත්පතින් උපුටා ගන්නා ලදී.

ඖෂධ පිළිබඳ නීතියේ සිදුරු ගණනාවක් තිබෙන බැවින් ඉදිරියේදී නීතිමය වශයෙන් ඒවා නිවැරදි කොට රටට හිතකර වෙනස්කම් සිදුකරන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

විශේෂයෙන් ඖෂධ මිල අඩු කරන මුවාවෙන් ගෙන ගිය මහා ඖෂධ ජාවාරම නතර කොට නිවැරදි නීතියක් යටතේ පළමු අවුරුදු තුනක කාල සීමාවේදී මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50ක් ඉහළ ප්‍රමිතියකින් යුතුව දේශීයව නිෂ්පාදනය කොට ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති කාර්යාලයේදී වැඩ ආරම්භ කරමිනි.

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

‘‘ඉදිරි වසර කිහිපයක කාලයේ මා ඉදිරියේ ලොකු වගකීමක් තිබෙනවා. මේ රටේ පසුගිය වසර 04ක 05ක කාලයේ ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක වුණා. ඖෂධවල මිල අඩු කරන බව පවසමින් ජනතාව රැවැට්ටුවා. තත්ත්වයෙන්, උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ සියල්ල රටින් ඉවත් කරලා බාල ඖෂධ මෙරටට හඳුන්වා දීමේ කුමන්ත්‍රණයක් දියත් වුණා. ජනතාව පීඩාවට පත්වුණා. මෙය වහාම නිවැරදි කරන්න අප බලාපොරොත්තු වෙනවා. ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන සේලයින් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ද්‍රව්‍ය සියල්ලක්ම රටේ නිෂ්පාදනය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. නුදුරේදීම ඒ සඳහා නවීන නිෂ්පාදනාගාරයක් ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඖෂධ මිල අඩු කරනවා මෙන් සිදුකළ මහා ජාවාරම හා ජනතාව රැවටීමට ලක් කිරීම, ප්‍රමිතියෙන් යුතු ඖෂධ රටින් ඉවත් කිරීම, ටෙන්ඩර් පිරිනැමීමේදී අවසන් අවස්ථාව තෙක් සිට වැඩි මිලකට ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමැති පියවරු මෙන්ම පුත්තුද මැදිහත් වෙලා කටයුතු යොදපු කාලයක් තිබුණා. අද ඒ කාලය නිමාවෙලා තිබෙනවා.

වියළි කලාපීය කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳව අපි 15 වසරක පමණ කාලයක් පෙනී සිටියා. කෘෂි රසායන මාෆියාව සමග අප සෘජුව ගැටුම් ඇතිකර ගත්තා රටට අහිතකර ඉතාම විෂ සහිත කෘෂි රසායන ද්‍රව්‍ය පහක් තහනම කරන්න. රටේ භාවිත වන කෘෂි රසායන ප්‍රමාණය සියයට 70කින් අඩු කිරීමට අපට පුළුවන්කම ලැබුණා. ඒ සටන ජයගෙන තිබෙනවා. වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර, ඖෂධ ප්‍රමිතියෙන් යුතුව ගෙන ඒමට පසුගිය කාලයේ අසමත් වෙලා තිබෙනවා. එය වහාම නිවැරදි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප විසින් පසුගිය කාලයේ සිදුකළ පර්‌යේෂණවල ප්‍රතිඵල අනුව වකුගඩු රෝගයට හේතුවන හේතු කාරණා නිශ්චිතව අනාවරණය කරගෙන තිබෙනවා. ඉදිරි වසර 4-5 කාලයේදී ජනාධිපතිගේ පළමුවැනි රාජ්‍ය පාලන සමය ඉවර වනවිට වියළි කලාපීය කෘෂිකාර්මික වකුගඩු රෝගය මුලිනුපුටා දමන්න, ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීමට හැකි බවට බලවත් විශ්වාසයක් තිබෙනවා.’’

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සහ ඇමැති මණ්ඩලය පත්කිරීමේදි ඉතාම විද්‍යානුකූල පදනමකින් සිදුකර තිබෙනවා. සුදුස්සාට සුදුසු තැන ලබා දීමට අධ්‍යාපන සුදුසුකම්වලට සුදුසු තැන ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ එතුමාට ස්තුතිවන්ත වෙනවා.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු කාර්ය මණ්ඩලය විශාල පිරිසක් එක්ව සිටියහ.

•ශිරන්තනි මානවඩු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one − one =