එංගලන්තයේ කුණු කන්ටේනර් 98ක් ලංකාවට

0
763
- Advertisement -
Share

එක්සත් රාජධානියේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98ක් කොළඹ වරායේ තිබී ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි ද්‍රව්‍යයන් ද කීටයන්, මැරුණු පැළෑටි, දිලීර හා පක්ෂීන්ගේ පිහාටු වැනි දෑ ද පරීක්ෂණවලදී හමුවී තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව මෙම පරණ මෙට්ට තොගය ගෙන්වා ඇති අතර එය කොළඹ වරායේදී අත්අඩංගුවට ගනු ලැබූවේ ශ්‍රී ලංකා රේගුවේ ආරක්ෂක අංශයේ පාරිභෝගික ආරක්ෂක ඒකකය විසින්.

භාවිතයෙන් ඉවත් කරන ලද එම මෙට්ට තොගය කටුනායක ප්‍රදේශයේ ආයතනයක් විසින් මෙරටට ගෙන්වනු ලැබ ඇතැයි පරීක්ෂණවලදී හෙළිවූ බව රේගුව සඳහන් කළා.

පාවිචිච් කළ මෙට්ට ආනයනය කරන බවට මෙම ආයතනය රේගුවට ප්‍රකාශ කළ ද ඒවා සියල්ල කුණු ගොඩක් බවට පත්ව ඇතැයි ද රේගුව පවසනවා.

කන්ටේනර් 102ක් මෙරටට ආනයනය කළ බවට මෙම ආයතනය රේගුවට දැනුම් දී තිබුණ ද ඊයේ (8) වනවිට ඉන් කන්ටේනර් 98ක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම පාවිච්චි කළ මෙට්ට අඩංගු කන්ටේනර්වල පාරිසරික අන්තරායක ද්‍රව්‍ය කිසිවක් අඩංගු විය හැකි බවට දැඩි සැකයක් පවතින බව රේගු පාරිභෝගික ආරක්ෂක ඒකකය පවසනවා.

මේ අනුව මෙම භාවිත කළ මෙට්ට තොගය අඩංගු කන්ටේනර් සියල්ල එක්සත් රාජධානියට ප්‍රතිඅපනයනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දන්වා තිබෙනවා.

ආනයනය කරන ලද පාවිච්චි කළ මෙට්ට තොගය හේතුවෙන් විශාල සෞඛ්‍ය හා පාරිසරික අවදානමක් ඇතිවිය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතින්ගේ පාරිසරික අංශය හා නිරෝධායතනය පුළුල් විමර්ශනයක් සිදුකරන බව ද එම ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 5 =