උතුරට දේශපාලනය ගෙන ගිය පොන්නම්බලම් රාමනාදන්

0
370
- Advertisement -
Share

අපි කළු පැහැති පාට කබා ඇඳ ගතිමු. මගේ මාමා මාගේ දිගු කේෂ කලාපය කපා දැම්මේය. හින්දු භක්තිකයෙකු බවට මා සතුව තිබූ එකම සළකුණ එයයි. එමගින් මාගේ පියා ඛෙහෙවින් කම්පනයට පත්වන්නට ඇත. එහෙත් බටහිර ශිෂ්ඨාචාරය ලංකාව සිසාරා පැතිර යමින් තිබූ බවත්, එය අපගේ පවුල් පවුරු බිඳගෙන ඇතුළු වූ බවත් ඔහු නොදැන සිටියේය… මේ ලංකාවේ යුග පුරුෂයෙක් බවට පත් වූ සර් පොන්නම්බලම් රාමනාදන් අතීතය ස්මරණය කළ ආකාරයයි. ඔහු මෙරට සමස්ත දේශපාලනයේත්, විශේෂයෙන්ම හින්දු සංස්කෘතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේදිත් ප්‍රබල බලකනුවක් වුවත් තමුන්ගේ කීර්තිමත් ගමන්මග ඔහු බිහි කරගන්නේ බටහිර සංස්කෘතිය හරහා කුළ විෂමතාවය ඉතාම ශක්තිමත්ව පවතින යපනයේ ප්‍රභූ පවුලක උපන් පොන්නම්බලම් රාමනාදන්ගේ ජීවිතයට වඩාත්ම බලපෑම් කළ පුද්ගලයා වශයෙන් ඔහුගේ මවගේ අර්ධ සොහොයුරා වූ මුතු කුමාරස්වාමියි. බටහිර සංස්කෘතිය සමග දැඩිව බැඳුන ඔහු විවාහ වී සිටියේ එලිසබත් බීබී නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමග, මේ නිසා ඔහු වික්ටොරියානු සමාජ පද්ධතිය තුළ ඉතාම සුඛෝපභෝගි ජීවිතයක් ගත කළා. ඔහු තමාගේ සොයුරියගේ දරුවන්ටද මග හෙළිකරන්නට කල්පනා කළේ ඒ නිසයි. විශිෂ්ට බුද්ධිමතෙක් වූ ආනන්ද කුමාරස්වාමි මුතු කුමාරස්වාමි හා එලිසඛෙත් බීබීගේ දරුවාය. ඔහු මුළුමනින්ම බටහිර අනුරූපිකයෙක් වූ අතර, හින්දු සංස්කෘතිය පිලිබඳව ඔහුගේ අධ්‍යයනයන් ඒ තුළ සිටින්නෙකුගේ සංවේදි අදහස් නොව, පිටස්තරව සිටින්නෙකුගේ මධ්‍යස්ථ අදහස් බව පැහැදිලිය. තම දිගු කෙස්වැටිය මාමා විසින් කපා දැමූ විට පියා විස්සෝපයට පත් වූ ආකාරය පොන්නම්බලම් රාමනාදන් හට අමතක නොවන්නක්. පියා පැවසූ ආකාරයට පොන්නම්බලම්ට අහිමි වූයේ කෙස් වැටිය නොව, හින්දුකමයි.. කොළඹ ඇකඩමියේත් ( වර්තමානව රාජකිීය විදුහල ) මදුරාසියේ ප්‍රෙසිඩන්ට් විද්‍යාලයේත් අධ්‍යාපනය ලබමින් පසුව මාමාගේ මගපෙන්වීම මත නීති ෙක‍ෂ්ත්‍රයටත්, දේශපාලනයටත්, පරිපාලනයටත් ඇතුළත් වෙමින් දැවැන්තයෙක් වුවත් තම පියාගේ වදන් ඔහුගේ සවනත රැව්ලිපිරැව් දුන් දෙයක්. එසේ වුවත් ඔහු තම ජීවිතයේ මැදි වයස වනතෙක්ම ගත කළේ බටහිර වික්ටෝරියානු සම්ප්‍රදායට අනුගත වූ ජීවිතයක්. කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි ඔහුගේ සුඛස්ථාන් මන්දිරය, සුදු ජාතිකයන් විසින් හැඳින්වූයේ ඉස්තරම්ම බ්‍රැන්ඩි හා වටිනා ටෙනිස් පිටි ඇති කදිම විවේක ස්ථානයක් ලෙසින්. ( අදත් කොළඹ වේඩ් පෙදෙසේ ඇති සුඛස්ථාන් ටෙරස් මෙම මන්දිරයේ ඇති අතීත අනුභාවය නාමිකව කියාපනවා. ) ඔහුගේ පළමු බිරිඳ වන්නේ සෙල්ලච්චි අම්මාල්. මහේසන්, රාෙජ්න්ද්‍ර හා වාමදේවන් යනුවෙන් පුතුන්ති දෙනා හා සිවකොලොන්තු, රුක්මණි, හා තම්බියා යනුවෙන් දියණියන් තිදෙනා එම විවාහයේ දරුවන්. පසු කාලීනව, ජීවිතයේ මැදිවියට එළඹෙත්ම රාමනාදන් මහතා විශ්වාස කරන්නේ බටහිර අනුකාරකයන් විසින් හින්දු සංස්කෘතිය ගිලගන්නා බවයි. ඒ අනුව ශ්‍රී.ල.ශ්‍රී. ආරුමුග නාවලර් තුමා සමග එක් වන රාමනාදන් මහතා හින්දු සංස්කෘතිය, අධ්‍යාපනය හා සාහිත්‍ය නගාසිටුවන්නට දැවැන්ත මෙහෙවරක් කරනු ලබනවා. ( නූතන දමිළ ගද්‍ය සාහිත්‍යයේ පියා වශයෙන් සලකන්නේ අරුමුග නාවලර් තුමායි ) චුන්නාකම් පරමේෂ්වරා විදුහලත්, යාපනයේ හින්දු කාන්තා විදුහලත් ඔහු විසින් ස්ථාපිත කරන ලද පාසැල් අතර ප්‍රධානයි. මින් හින්දු කාන්තා විදුහලේ කළමනාකාරිනිය වශයෙන් සේවය කළේ ඔහුගේ දෙවැනි බිරිඳ වූ ආර්. එල්. හැරිසන් මෙනවියයි. ඇය ඕස්ටේ්‍රිලියානු ජාතික සුදු කාන්තාවක්. නමුත් විවාහයෙන් පසුව ඇය පෙනී සිටින්නේ ලීලාවති යන ආරූඩ නාමයෙන්. පොන්නම්බලම් රාමනාදන් තුළ සිය භාෂාව හා ජාතිය පිලිබඳව තිබූ දැඩි හැගීම තේරුම් ගන්නට එයම ප්‍රමාණවත්. පසු කාලිනව ලංකාවේ පාර්ලිමේන්තුව පවා නියෝජනය කළ ඇස්. නඩේසන් පිල්ලෙයි විවාහ වී සිටියේ ලීතාවතීගේත්, පොන්නම්බලම් රාමනාදන්ගේ දියණිය වන සිවගමාසුන්දරි සමගයි. හින්දු ආගමේ පුනරුදය උදෙසා දැවැන්ත මෙහෙවරක් කරන්නට පොන්නම්බලම් මහතා කටයුතු කර තිඛෙන අතර, කොච්චිකඩේ පිහිටි අද ෂිවම් කෝවිල යනුවෙන් හඳුන්වන දැවැන්ත ශෛලමය කෝවිලද ඔහුගේ දායකත්වයෙන් ඉදිවූවක්. හින්දු සම්ප්‍රදායික ඉදිකිරීම් කලාව මැනවින් පෙන්නුම් කරන මෙම කෝවිල අදත් බොහෝ බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් වෙනවා. රාමනාදන් මහතා හින්දු ආගම පිලිබඳ ඉතාම ගවේෂණාත්මක දේශන රටෙන් රට ගොස් පවත්නමින් හින්දු සංස්කෘතියේත්, ආගමේත් ගැඹුර ලෝකයා වෙන ගෙනයන්නට ගත්තේ දැවැන්ත වෙහෙසක්. රාමනාදන් මහතා තම බටහිර ප්‍රභූත්වය හුවා දක්වන්නට නිතරම බටහිර ඇඳුමෙන් සැරසුනත් තම හිස් පළඳනාවක් ලෙස තලප්පාවකින් සැරසුනේ තම හින්දු සංස්කෘතියේ අනන්‍යතාවය හුවා දක්වන්නටයි. ලාංකිකයන් විසින් ලංකාව පාලනය කළ යුතුය යන අදහස රාමනාදන් මහතා විශ්වාස කළා. ඒ සඳහා ඔහු විවිධ ආකාරයෙන් සටන් වැදුනා. 1915 වසරේදි මෙරට ඇති වූ මුස්ලිම්-සිංහල කෝලාහලයේදි ඉංග්‍රීසි ආණ්ඩුව විසින් දියත් කළ මර්දනයට ඍජුවම එරෙහි වූ අතලොස්සක් නායකයන් අතර ඔහුද එක් අයෙක්. ඔහු අත්අංගුවට පත් සිංහල බෞද්ධ නායකයන් වෙනුවෙන් අභිතව පෙනී සිටි අතර, බුදු දහම පිලිබඳ ඔහු තුළ තිබුනේ පහන් හැගීමක්. ඒ බැව් කදිමට පෙන්නුම් වන්නේ වෙසක් දිනය නිවාඩු දිනයක් බවට පත්කිරීමෙහි ලා දැවැන්ත කාර්ය භාරයක් ඔහු විසින් කළ නිසා. සර් පොන්නම්බලම් රාමනාදන් වඩාත්ම ලාංකේය දේශපාලනයේ ඇති විපරිත භාවය පෙන්නුම් කරන්නේ 1911 වසරේ ව්‍යවස්ථාව සඳහා උගත් ශ්‍රී ලාංකිකයා තෝරාගැනීමට පැවති චන්දයේදියි. මෙය සිංහලයන් අතර තිබූ උඩරට පහතරට භේදයත්, කුළ භේදයත් මැනවින් පෙන්නුම් වූ අවස්ථාවක්. උඩරැටියන්, හා පහත රැටියන් එක්ව සියලූ දෙනාට පොදු වූ සමකුල නියෝජනය වශයෙන් තෝරාගනු ලැබුවේ පොන්නම්බලම් රාමනාදන් මහතාවයි. එම චන්දයේදි රත්නපුර පැවති ප්‍රභූ රැස්වීමට රාමනාදන් මහතා පැමිණ ඇත්තේ අලි ඇතුන් සහිත දැවැන්ත
පෙරහැරකින්. මෙහිදි සිංහල අපේක්ෂකයා පරදවමින් රාමනාදන් මහතා ජය ගන්නේ උඩරට හා පහතරට ප්‍රභූන්ගේ වැඩි චන්දයෙන්. මෙම සිදුවීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ කුල හා ප්‍රාදේශිය ව්‍යාකූලත්වය මැනවින් පෙන්නුම් කරන්නක් වූ අතර, පසුකාලිනව ලංකා ජාතික සංගමයේ පවුරු පදනම පවා දෙදරවාලන්නට සමත් වූයේ එම සිදුවීමයි. සර් පොන්නම්බලම් රාමනාදන් අතින් හින්දු සංස්කෘතියට, භාෂාවට හෝ ආගමට සිදු වූ අමිල මෙහෙවර අදටත් අවිවාදිත කරුණක්. එහෙත් ලාංකික ද්‍රවිඩ ජනතාව අතර පවතින කුළ භේදය වඩාත් ශක්තිමත් කිරීමට විනා එයින් ඔබ්බට නව ලෝකයක් දකින්නට ඔහු තුළ අවකාශයක් තිබූ බව දක්නට නොලැබීම අවාසනාවන්ත තත්ත්වයක්. අදටත් පොන්නම්බලම් රාමනාදන් අයත් වන්නේ ද්‍රවිඩ රාජකීයයන්ගේ කුලකයට විනා සමස්ත ද්‍රවිඩ නියෝජනයකට
නෙමෙයි. අද, මේ මොහොතේ ද්‍රවිඩ ජනතාව කිසියම් අසහනකාරි තත්ත්වයකට පත්ව ඇත්නම් එක් හේතුවක් වන්නේ පොන්නම්බලම් රාමනාදන් වැනි වගකිව යුතු හා පිලිගත් නායකයන් ඒ පිලිබඳ සැලකිල්ලක් නොදැක්වීම බව කිවහොත් එය අතිශයෝක්තියක්ම නෙමෙයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 10 =