ඇමති චන්ද්‍රසේන ඉදිරියටම යයි. කෝමාරිකා වගාවට වතුර දෙන්න අලිමංකඩක් හරස් කර වැවකුත් හදයි.

0
817
- Advertisement -
Share

ඇමති චන්ද්‍රසේන ඉදිරියටම යයි. කෝමාරිකා වගාවට වතුර දෙන්න අලිමංකඩක් හරස් කර වැවකුත් හදයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ ඉඩම් එළි පෙහෙළි කර ක්‍රියාත්මක වන කෝමාරිකා ව්‍යාපෘතිය සඳහා ජලය සපයා ගැනීමට අලිමංකඩක් අවහිර කරමින් විශාල වැවක් ඉදිකරමින් පවතින බව පරිසරවේදීහු පවසති.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අලි ඇතුන් ගමන් කරන අලිමංකඩක් අවහිර කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පෞද්ගලික සමාගම විසින් වැව ඉදිකරමින් තිබෙන බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පවසන්නේය.

රාජාංගණය, යාය 18 පසුකර විල්පත්තුව ජාතික වනෝද්‍යානය දක්වා ඇති ප්‍රේරක කලාපයේ කෝමාරිකා ව්‍යාපෘතියක් සිදු කෙරෙන්නේ වනජීවී හා පරිසර ඇමැතිවරයාගේ සහයෝගය ඇතිව බවද පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 370කින් සමන්විත මෙම ව්‍යාපෘතිය කොටස් 12කට බෙදා මුදල් ඇස්තමේන්තු කර තිබෙන බව ව්‍යාපෘති යෝජනාවේ සඳහන් වේ. රාජාංගණය යාය 18 ප්‍රදේශයේ හා කටුපත්වැව ප්‍රදේශයේ කෝමාරිකා බීජ පැළ ව්‍යාපෘතියක් , පනන්කානිය ඇළ හරහා වේල්ලක් ඉදි කිරීම, රාජාංගණය යාය 18හි පර්‌යේෂණාගාරයක් ඉදි කිරීම, එම ප්‍රදේශයේම කර්මාන්ත ශාලාවක් ඉදි කිරීම, ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදි කිරීම, පර්‌යේෂණ පාසලක් ඉදි කිරීම හා රාජාංගණය හන්දියේ නගර සංවර්ධනය කිරීම යන කරුණුද ඊට ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතියට අදාළව ගොවීන් විසින් වෙන් වෙන්ව එකම ආකෘති පත්‍රයකින් රාජංගණය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරමින් ඉඩම සංවර්ධනය කිරීමට අවසර ඉල්ලා තිබේ. එම කටයුතු සඳහා රාජාංගණය ප්‍රාදේශීය ලේකම්වරයාද අවසරය ලබාදී ඇති අතර,මධ්‍යම පරිසර අධිකාරියද අවසරය ලබාදී තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ අදාළ වගා කටයුතු සඳහා අනෙකුත් ආයතනවලින් විරුද්ධත්වයක් නොදැක්වීම නිසා අවසරය ලබා දුන් බවය. එමෙන්ම මෙවැනි විශාල සංවර්ධන කටයුත්තක් සිදු කරන බවට එම සමාගම විසින් මධ්‍යම පරිසර අධිකාරියට දන්වා නොමැති බවද අනාවරණය වේ.

එම ඉල්ලුම්පත්‍ර වැඩි සංඛ්‍යාවක දිනය ලෙස සඳහන් වන්නේ 2019 අගෝස්තු මාසයේ දිනයක් බවත්,එයින් ඉල්ලා ඇත්තේ යන්ත්‍රසූත්‍ර යොදා ඉඩම සංවර්ධනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස බවත්, යන්ත්‍ර සූත්‍ර යොදා ඉඩම සංවර්ධනය කරන්නේ කුමන කටයුත්තකටද යන්න එම ඉල්ලුම්පත්‍රයේ නොමැති බවත්, කෝමාරිකා වගාවක් ගැනද එම ඉල්ලුම්පත්‍රවල සඳහන් නොවන බවද රවීන්ද්‍ර කාරියවසම් කීවේය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයට නීතිමය වටපිටාවක් හිමිවන්නේ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේය. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ නව වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි.

“9අ.(01) 3අ වගන්තියේ විධි විධානවලට යටත්ව, දෙවැනි වගන්තිය යටතේ වූ නියමයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද යම් ජාතික රක්ෂිත භූමියක මායිමේ සිට සැතපුම් එකක දුරක් ඇතුළත පෞද්ගලික හෝ රජයේ හෝ යම් තැනැත්තකු හෝ සංවිධානයක් විසින් අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව කවර ආකාරයක හෝ යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදු නොකළ යුතුය. ’’

කෝමාරිකා වගාවට ලබා ගන්නා ඉඩම් අතර ඇති වැඩිමනක් ඉඩම් ජනතාව විසින් නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් තොරව අත්පත් කර ගත් ඒවා බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් කීවේය. ප්‍රාදේශීය ලේකම් යටතේ ඇති මෙම ඉඩම්වලින් ඇතැම් ඉඩම්වලට පසුකාලීනව ඉඩම් සංවර්ධන ආඥාපනතේ 19 (2) වගන්තිය යටතේ අවසරපත්‍රයක් නිකුත් කර ඇත. එනම් මේවා ජනතාවට අයිති ඉඩම් නොව ප්‍රාදේශීය ලේකම්ට එසේ නැතිනම් රජයට අයිති ඉඩම්ය. කොන්දේසි සහිත අවසරපත්‍රයක් මගින් ජනතාවට මෙම ඉඩම් තමන්ගේ කටයුතු සඳහා පරිහරණය කිරීමේ අවසරය ලබා දී තිබේ. ඇතැම් ඉඩම්වලට අවසරය ලැබී ඇත්තේ 2010 වසරෙන් පසුවය. පවුල් කිහිපයකට පමණක් අවසර පත්‍ර ලබා දී ඇති බව ලේඛන අනුව පෙනී යයි.

එලෙස ලබා දුන් ඉඩම්වල යම් සංවර්ධන කටයුත්තක් සිදු කරනවා නම් හෝ ගස් කපා ඉවත් කරනවා නම් හෝ ඒ සඳහා දිසාපතිවරයාගේ හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබා ගත යුතුය.

මෙම වගා ව්‍යාපෘතිය තනි ව්‍යාපෘතියක් වුවද ඉඩම් ලබා ගැනීමේදී ගිවිසුම අත්සන් කර ඇත්තේ ගොවීන් සමග වෙන් වෙන් වශයෙනි. එසේ කළේ නීතියෙන් රිංගා යෑමටද එසේ නැතිනම් ගොවියන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන සිතාදැයි දන්නේ ඔවුන්ම පමණි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මෙලෙස පැවසීය.

“වැව හදන කොටස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ වෙන්නේ නෑ. ගඟක් හරස් කර ඇනිකට් එකක් හදන්න නියමිත තැනක් තිබුණා. එතැන විතරයි අපිට අදාළ වෙන්නේ. ඇනිකට් එක හදනවාට විරුද්ධව අපි නඩු දාලා තියෙන්නේ. වගාවෙන් අපිට ලොකු බලපෑමක් නෑ.”යැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ අදහස් දක්වමින්,

අදාළ භූමි ප්‍රදේශයේ යම් ක්‍රියාකාරකම් සිදු කෙරෙනවා නම්,එය වහාම නතර කිරීම සඳහා ලිපියක් යොමු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු මැද පළාත් කාර්යාලයට දැනුම් දුන්නා. ඒ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් දැනුම් දෙනවා. අදාළ ප්‍රදේශය පරීක්ෂා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ කණ්ඩායමක් සඳුදා (22 වැනිදා) යැවීමට කටයුතු කරනවා.”යැයි පැවසීය.

•සාලිය කුමාර ගුණසේකර අරුණ පුවත්පත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =