“ඇගළුම් සේවිකාව ආසාදිතයෙකු බව දැනගෙන ඇත්තේ ටිකට් කපා ගෙදර ගියාටත් පස්සේ.” අරුණ පුවත්පත වාර්තා කරයි.

0
284
- Advertisement -
Share
6 / 100

ඇගළුම් සේවිකාව ආසාදිතයෙකු බව දැනගෙන ඇත්තේ
ටිකට් කපා ගෙදර ගියාටත් පස්සේ.” අරුණ පුවත්පත වාර්තා කරයි.

දිවුලපිටිය, බෝමුගම්මන කොවිඩ් වැලඳුණු කතගේ 16 හැවිරිදි දියණියටත් වයිරසය ආසාදනය වී ඇත. පී.සී.ආර්. පරීක්ෂණ මගින් ඒ බව තහවුරු වී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන පවසයි. ඒ අනුව එම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමු කර තිබේ.

බෝමුගම්මන කාන්තාවට කොවිඩ් වැලඳුණු බව තහවුරු වූයේ පෙරේදා (03 වැනිදා) දිනයේය. අනතුරුව ඇයගේ පවුලේ අය පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ගාල්ල කරාපිටිය රෝහලට යොමු කරන ලදී. 16 හැවිරිදි දැරියට කොරෝනා වැලඳී ඇති බව තහවුරු වූයේ එහිදීය.

කෙසේ වෙතත් පවුලේ අනෙක් අයට වයිරසය ආසාදනය වී ඇති බව මෙම පරීක්ෂණ මගින් තහවුරු වී නොමැත. නමුත් ඔවුන් පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

ආසාදිත දැරිය දිවුලපිටිය ශ්‍රී ඥානාවාස මහා විද්‍යාලයේ ඉගෙනුම ලබයි. ඒ අනුව ඇයගේ පාසලේ ආශ්‍රිතයන්ද හඳුනාගෙන ඔවුන්ද නිරෝධායනය කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී.

මේ වන විට කොවිඩ් ආසාදිත කත සේවය කළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් 33කට කොවිඩ්වලට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. අදාළ ආයතනයේ සේවකයන් 1500කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන අතර ඊයේ (05 වැනිදා) රාත්‍රි වන විට ඉන් 756කට ආසන්න ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. ඒ අතරින් සියදෙනකුට පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ දින (04 වැනිදා) සිදු කිරීමට නියමිතව තිබිණි. ඉතිරි පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍ය කණ්ඩායම් 5ක් යොදවා අද (05 වැනිදා) සිදු කිරීමට නියමිතය. මේ අතර දී දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරිනීතිය පනවා දිවුලපිටිය ප්‍රදේශයේ 150කට ආසන්න පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇත.

කොවිඩ් වැලඳුණු කාන්තාව ඉකුත් 28 වැනිදා උණ වැලඳී පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ. ඉන් අනතුරුව ඇය ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත්තේ 30 වැනි දින සේවා ස්ථානයේ දී ඇති වූ ශ්වසනාබාධයක් හේතුවෙන්ය.

එහි දී දින එක හමාරක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පසුගිය දෙවැනිදා රෝහලෙන් පිටව යාමේ දී පී.සී.ආර්. පරීක්ෂණයක් කර ඇත. ඉන්පසු ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තාව ලැබී ඇත්තේ පෙරේදා (03 වැනිදා) දිනයේය.

මේ සම්බන්ධව අදහස් දැක් වූ ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මෙසේ පැවසීය.

අපි ශ්වසන රෝග, උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැලඳී ඇති රෝගීන් 10ක් දිනකට අහඹු ලෙස තෝරාගෙන කොවිඩ් පරීක්ෂණ 10ක් කරනවා. මේ කාන්තාවත් අපි පී.සී.ආර්. පරීක්ෂණය සඳහා තෝරාගත්තා. අහඹු ලෙස පරීක්ෂණ කරද්දී පරීක්ෂණ ඉවර වෙනකල් අපි ඒ අය රඳවා තබාගන්නේ නෑ. කොරෝනා වැලඳී ඇති බව තහවුරු වීමත් සමඟ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ දැනුවත් කළා. ශ්වසන රෝගීන් සඳහා වෙන් කර ඇති වාට්ටුවක තවත් තිදෙනෙක් සමග ඇය සිටියේ. මෙම ත්තත්වය මත රෝහල් කාර්ය මණ්ඩලයේ 20 ක් නිරෝධායනය කරන්න කටයුතු කළා.

රෝහල් ප්‍රතිකාර ලැබ නිවසට පැමිණි ඇය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත පෙරේදා (03 වැනිදා) රාත්‍රියේ දී යොමු කෙරිණි. මහජන පරීක්ෂකවරුන් දිවුලපිටිය, බෝමුගම්මන පදිංචි ඇය සොයාගෙන යන විටත් ඇය පවුලේ සාමාජිකයන් සමග ගැවසෙමින් සිටි බව මේ පිළිබඳව අදහස් දක්වමින් දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ.ටී. කුලතිලක සඳහන් කළේය. සිව්දරු මවක් වන ඇයගේ සැමියා ත්‍රිරෝද රථ රියැදුරෙකි. ඇයගේ පියාද ඔවුන් සමග මෙම නිවසේ වාසය කරන අතර ඒ සියලු දෙනාම ඊයේ (04 වැනිදා) අලුයම වන විට හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.

මේ සම්බන්ධ අදහස් දැක් වූ දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂ එස්.යූ.ටී. කුලතිලක මෙසේද කීය.

ආයතනය විසින් ලබාදෙන ප්‍රවාහන සේවා බස් රථයකින් ඇය වැඩට යන්නේ. ඒ බස් රථයේ 40ක් ඉන්නවා. මේ වන විට ඒ සියලු දෙනා නිරෝධායනය කරලා තියෙනවා.

ඇයගේ සැමියා ත්‍රිරෝද රථයෙන් කුලී සේවා සපයලා තියෙනවා. ඒ නිසත් අවදානමක් තියෙනවා.

කෙසේ නමුත් අදාළ කොවිඩ් ආසාදිත කාන්තාව විසින් කරනු ලබන ප්‍රකාශවල පරස්පරතා පවතින බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය. ඇය රෝගියකු බව හඳුනාගත් අවස්ථාවේ දී කිසිවකු නිවසට පැමිණ නැති බව කීවද ඊයේ (04 වැනිදා) ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීමේ දී පැමිණි පුද්ගලයන්ගේ ලැයිස්තුවක් සඳහන් කර ඇති බව සඳහන් කර ඇත. මේ අතර ඇය සේවය කළ ආයතනයේ අදාළ සේවකයන්ගේ දත්ත සටහන් නිවැරදිව තබා නොගැනීම හේතුවෙන් සේවකයන් සොයා ගැනීම විශාල ගැටලුවක්ව ඇති බවද හෙතෙම කීය.

ගොඩක් ළමයි බෝඩින් කාමරවල ඉන්නේ. ඒ අයට යන එන තැන් නැති වෙයි කියලා ඉදිරිපත් වෙන්නේ නෑ. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යයි කියලත් ඒ අය බයවෙලා. මේ පිරිස නිවැරදිව හඳුනා නොගෙන අපිට දෙවැනි පෙළ ආශ්‍රිතයන් හඳුනාගන්න අමාරුයි. කොහොම නමුත් මේ වන විට අදාළ මෙහෙයුම් සිද්ධවෙනවා සහ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි උණ රෝගයකින් පෙළෙන අයෙක් වේ නම් වහාම ළඟම පිහිටි රෝහලට ගොස් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු වන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීදරන් දැනුම් දෙයි.

එමෙන්ම මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින යුද, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බළකායන්හි රාජකාරි කරන සියලුම පුද්ගලයන් නැවත දන්වන තුරු රාජකාරි ස්ථානවලට වාර්තා නොකරන ලෙසට ආයතන ප්‍රධානින් වෙත දන්වා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා කියා සිටී.

එම කාන්තාව සේවය කළ බ්‍රැන්ඩික්ස් සමාගමේ සියලුම මෙහෙයුම් අංශ තුළ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බව පවසන එම සමාගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සහ සහයෝගය හේතුවෙන් ආයතනයේ තුළ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සහ අදාළ පුද්ගලයන් නිරෝධායනය කිරීමට හැකි වූ බව එම බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයක් කරයි.

•ශිරන්තනී මානවඩු

•මනෝජ් එදිරිසිංහ – මීරිගම

•ජනක ජයතිලක – දිවුලපිටිය

•රේමන් අපොන්සු – මීගමුව

•රවීන්ද්‍ර චන්ද්‍රලාල් – හිනිදුම

•යූ.එම්. තිලකරත්න – ලබුදූව

@aruna E paper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − ten =