ආණ්ඩුව, ඇමති චන්ද්‍රසේනටත් එහා යයි. වන සංරක්ෂණය සතු හෙක්ටයාර් ලක්ෂ 05 ක් පෞද්ගලික සමාගම් පහකට මුදා හැරීමේ සූදානමක්..!

0
661
- Advertisement -

ආණ්ඩුව, ඇමති චන්ද්‍රසේනටත් එහා යයි.
වන සංරක්ෂණය සතු හෙක්ටයාර් ලක්ෂ 05 ක්
පෞද්ගලික සමාගම් පහකට මුදා හැරීමේ සූදානමක්..!

පරිසර අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 5/2001 චක්‍රලේඛය සංශෝධනය කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින අවශේෂ වනාන්තර හෙක්ටයාර් ලක්ෂ පහක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදා හැරීම මේ දිනවල දේශපාලනඥයන් පිඹුරුපත් සකස් කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවැසීය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ නිපෝන් හෝටලයේ දී ඊයේ (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව කීවේය.

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා පෞද්ගලික සමාගම් පහකට මෙම ඉඩම් ලබා දීමට පරිසර හා වනජීවී ඇමැතිවරයා ඇතුළු දේශපාලනඥයන් කටයුතු කරමින් සිටින බවත්, අවශේෂ වනාන්තර පද්ධති විනාශ කිරීම නිසා බන්දුල පෙතියා මත්ස්‍ය හා පසුගිය කාලයේ දී සොයාගත් මෙරටට ආවේණික හූණු විශේෂ ඇතුළු ආවේණික සත්ත්ව විශේෂ රැසක් අහිමි වී යෑමේ අවදානමක් පවතින බවත් පරිසරවේදීහු පැවැසූහ.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පැවැති තෙත් කලාපයේ අක්කර විස්සකට අඩු ඉඩම් සහ වියළි කලාපයේ අක්කර දෙසීයකට අඩු ඉඩම් සියල්ලම 2001 වසරේ දී පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගත්තේ එම අවශේෂ වනාන්තර පද්ධතිවල ආරක්ෂාව සඳහා බවද මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය විය.

මෙරට වනාන්තරය හෙක්ටයාර් මිලියන දෙකයි දශම එකක් පවතින අතර ඉන් සියයට දශම පහක් අවශේෂ කැලෑ පද්ධති බවත්, අලිමංකඩ රැසක් පිහිටා ඇත්තේ මෙම අවශේෂ කැලෑ පද්ධති ආශ්‍රිතව බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා කීවේය.

කොළඹ ගස් සියල්ලම ආරක්ෂා වී ඇත්තේ මෙම චක්‍රලේඛය නිසා බවද අවශේෂ වනාන්තර ඉඩම් ආරක්ෂා කිරීම සඳහා දේශපාලන විසඳුමක් නොලැබුණහොත් නීති මගින් කටයුතු කරන බවද ඔහු කීවේය.

යම් අවශේෂ වනාන්තරයක් සංවර්ධන කටයුත්තක් සඳහා යොදා ගන්නේ නම් 2/2006 චක්‍රලේඛය මගින් ඊට අවකාශය සලසා ඇති අතර එම ඉඩම් සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමේ දී අනිවාර්යයෙන්ම පරිසර ඇගයීම් වාර්තාවක් සිදු කර අදාළ පරිසර අංශවලින් අවසරය ලබාගත යුතුය. එම නිසා දේශපාලනඥයන්ට ස්ව කැමැත්ත මත කටයුතු කිරීම සඳහා 5/2001 චක්‍රලේඛය සංශෝධනය කිරීමට මෙලෙස කටයුතු යොදා ඇති බවද හෙතෙම කීවේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් අවශේෂ වනාන්තර ඉඩම් හෙක්ටයාර් විසි පන්දහසක් තිබෙන බවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන ඇතැයිද එහි දී අනාවරණය විය.

සුරකිමු ශ්‍රී ලංකා ව්‍යාපාරයේ කැඳවුම්කරු පාහියංගල ආනන්ද සාගර හිමියන් මෙහි දී පැවැසුවේ මෙම වනාන්තර විනාශය විල්පත්තු විනාශයට වඩා සිය ගුණයකින් වැඩි බවයි.

‘‘පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා මෙම චක්‍රලේඛය සංශෝධනය කරනවා කියලා. මේ කටයුත්ත කරන්න කියලා වැඩි බලපෑමක් කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා. පරිසර ඇමැති කියනවා මේ චක්‍රලේඛය දන්නේ නෑ කියලා. කෙසේ නමුත් මෙමගින් අති දැවැන්ත පරිසර හානියක් සිදු වෙනවා’’ යැයි පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවැසූහ.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමත්ත විතානගේ