අයහපත් කාලගුණය නිසා පවුල් 650ක් පීඩාවට

0
464
- Advertisement -

දිස්ත්‍රික්ක දොළහකට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 650කට අයත් පුද්ගලයන් 2260 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම පිරිසෙන් පවුල් අසූතුනකට අයත් පුද්ගලයන් දෙසිය අනූහතක් ආරක්ෂිත කඳවුරු තුනක රඳවා සිටින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මේ වන විට පුද්ගල මරණ 4ක් සිදුව තිබෙන අතර පුද්ගලයන් හතරක් තුවාල ලබා තිබේ.

නිවාස හානි හතළිස් නවයක් හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන තුනකට හානි සිදුව තිබෙන අතර, පැවැති තද වර්ෂා තත්ත්වය නිසා ඊයේ (01දා) දින රාජාංගණය ජලාශයේ වාන් දොරටු අටක් හා උඩවලව ජලාශයේ වාන් දොරටු පහක්, උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතක්, තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක්, දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටක් වශයෙන් විවෘත කිරීමට සිදුවූ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීට අමතරව ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු දෙකක්, කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක්, කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කළ බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සිට කිරවානාගම මාර්ගයේ හරංකහව ප්‍ර‘දේශයේ දෙකේ කණුව ප්‍ර‘දේශය හා හූරියපොල ස්ථානයේ නායයාම් නිසා මාර්ගය වසා දමා ඇත.

පස්සර, පිටමාරුව මාර්ගයේ කුරුවිගොල්ල හන්දියේ සිට අම්බලමහන්දිය දක්වා මාර්ගයට පස්කන්දක් කඩාවැටීම නිසා ගමනාගමනයට බාධා සිදුවිය.

එමෙන්ම බණ්ඩාරවෙල නගරයේ කෝවිල පිටුපස මාර්ගයේ පිහිටි නිවසක බැම්මක් ඇඟ මතට කඩා වැටීම නිසා එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පෙරේදා (30) හවස බණ්ඩාරවෙල දිසා රෝහට ඇතුලත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

බණ්ඩාරවෙල කෝවිල මාර්ගයේ පදිංචි හලීමා හනීපා (අවු.24) සහ පාතිමා රිශ්වානා (අවු.50) නැමති දුවක් සහ මවක් මෙසේ බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා තම නිවසේ පිටුපස දියනාමින් සිටියදී තම නිවසට ඉහළින් පිහිටි නිවසේ පිහිටි පිටුපස බැම්ම එක්වරම ඇඟ මතට කඩාවැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.

නුවරඑළිය, වැලිමඩ මාර්ගයේ පොලිස් මාර්ග බාධකය අසලට පස් කන්දක් කඩාවැටීම නිසා ගමනාගමනයට බාධා සිදුවිය.

තිරප්පනේ ප්‍ර‘දේශයේ ගල්කුලම මාර්ග බාධකය අසල ජලයෙන් යටවීම නිසා සහ අනුරාධපුර, කුම්බිච්චන්කුලම වැව පිටාර ගැලීම නිසා අවට ප්‍ර‘දේශවල ගමනාගමනයට බාධා සිදුවී තිබූ අතර, මීට අමතරව එම වැවේ වාන් දොරටුවක් අවහිරවීම නිසා අනුරාධපුර ඇල්ල හරහා මාර්ගය හා අනුරාධපුර පුත්තලම මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුවිය.

දක්ෂිණ අධිවේගී මාර්ගයට පහලින් දිවෙන පින්නදූවත් ඉමදුවත් අතර ප්‍රදේශයන් කිහිපයක පිහිටි 99(2), 99 (7), 101 (2), 101(4) යන උමංමාර්ගයන් ජලය අවහිරවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල විය.

කුරුණෑගල වාරියපොළ ප්‍රධාන මාර්ගයේ තිත්තවැල්ල වැව අසල මාර්ගය, කුරුණෑගල විල්ගොඩ මාර්ගය, කුරුණෑගල යන්තම්පලාවේ සිට වැව රවුම මාර්ගය, කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සමන්පුර, කුරුණෑගල වැල්ලව මාර්ගයේ මැද්දේගම යන ස්ථාන සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනාගමනයටද බාධා එල්ල වී තිබු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් නොර්වුඩ් ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය අසල පහත්බිමවල පිහිටි නිවාස 30 ක් පමණ ජලයෙන් යටවූ බව නොර්වුඩ් පොලීසිය පවසයි.

මඩොල්සිම වතුයායට අයත් ගල්උල්ලවත්ත ඩූමෝ කොටසේ මතුව ඇති නාය යාමේ අවදානම් තත්වයක් හේතුවෙන් එහි ලැයිම් කාමරවල පදිංචිව සිටි පවුල් 35 ක් ඉවත් කිරීමට පියවර ගත් බව ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා පැවසීය.

මේ ආකාරයට බොහෝ ප්‍ර‘දේශවල ඇතිවූ තද වැසි තත්ත්වය නිසා ගමනාගමනයට හා ජන ජීවිතයටත් යම් යම් බාධා සිදු වූ බව වාර්තා වේ.

පවතින වැසි තත්ත්වය නිසා කඳු ආශ්‍රිත ප්‍ර‘දේශ නායයාම්වලට ලක්විය හැකි බවත්, මීට අමතරව ගල්පෙරළීම, පස්කඳු කඩාවැටීම සිදුවිය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මීට අමතරව අනාරක්ෂිත ස්ථානවල ජලය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙසත්, ජල මූලාශ්‍රවල පහළ කොටස්වල ජීවත්වන ජනතාව හා ගංගා දෙපස ජනතාවත් ජල මට්ටම ඉහළ යෑම පිළිබඳ අවධානයෙන් සිටියයුතු බවත් ඔහු පවසා සිටියේය.

නායයාම් ලක්ෂණ දුටුවහාම එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවලට යන ලෙසත්, යම් තොරතුරක් දැනගැනීමට හෝ යම් තොරතුරක් දැනුම්දීමට 117 දුරකථන අංකය භාෂා තුනෙන්ම පැය 24 පුරාම ක්‍රියාත්මක බව බවත්, සියලුම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක පැය 24 පුරාම ඕනෑම අවස්ථාවකට මුහුණදීමට සූදානමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

බදුල්ල, මඩකලපුව, අම්පාර, මන්නාරම, මුලතිව්, කළුතර, හම්බන්තොට, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව දිස්ත්‍රික්කවලට ඇතිවූ තද වැසි හෝ තද සුළං, කඳුනායයෑම් නිසා මෙම පිරිස පීඩාවට පත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය.

අද.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + two =