“අපේ බළධාරීන් ඉන්දියාවේ යන්නේ තිරුපති වදින්න. ඉන්දියාවේ බළධාරීන් ලංකාවට එන්නේ අපට කෙළින්න..!” නලින්ද සිල්වා.

0
99
- Advertisement -

“අපේ බළධාරීන් ඉන්දියාවේ යන්නේ තිරුපති වදින්න.
ඉන්දියාවේ බළධාරීන් ලංකාවට එන්නේ අපට කෙළින්න..!”
නලින්ද සිල්වා.


මෙය ආචාර්ය නලින්ද සිල්වා මහතාගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

ඉන්දියානු හමුදා ප‍්‍රධානියා ද ඇතුළු ඉන්දීය බලධාරීන් කිහිප දෙනෙකු මෑත කාලය තුළ මෙරට සංචාරය කරමින් සිටියි. මෙම සංචාර සහ ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට තිබෙන දේශපාලනික අරමුණ අතර ඇති සම්බන්ධය පිළිබදව කිසිවෙකු අදහස් දක්වා තිබෙන බවක් ද නොපෙනේ.

ආචාර්ය නලින්ද සිල්වා මහතාගේ ලිපිය පහතින්.

ඉන්දීය බලධාරීන්ගේ පෙම් කෙළිය

ඉන්දියාවෙ ඇමතිවරු අමාත්‍යංශ ලේකම්ලා උසස් හමුදා නිලධාරීන් ආදීන් වැල නොකැඩී ලංකාවට එනවා. මේ වන විට ඉන්දියාවේ ඉහළ ම හමුදා නිලධාරියකු වූ ජෙනරාල් මනෝජ් මුකුන්ද් ලංකාවේ. මේක තමයි පඬියන්ගෙ බටහිර ස්වාමිවරුන්ගේ ඊනියා භූදේශපාලන යථාර්ථය. ඉන්දීයයන් ලංකාවට එන්නෙ අර සුනිල් සාන්තයන්ගේ ගීතයක එන ආකාරයට පෙම් කෙළිමින් යන දන්ඩි පැටවු වගේ නම් තමයි. එහෙත් ඔවුන් අප කෙරෙහි ඇත්තේ වෙනත් පෙමක්. ඔවුන් කොහොමටත් පැටවුන් නො වෙයි. ඔවුන් ඇටුවන් බැහැපු අය.

කෙළිනවා යන්න සෙල්ලම කිරීම සඳහා යෙදෙනවා. ඒ අතර මං ඕකට කෙළිනවා යන අරුතිනුත් යෙදෙනවා. මේ අරුත් දෙකේ සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. දෙවැනි අරුතෙන් පරදවනවා යන්න වඩා තීව්‍ර ව එමෙන් ම හානියක් කරනවා යන්න කියැවෙනවා. ඉන්දීයයන් අපට වැල නොකැඩී එන්නේ ඔවුනොවුන් පෙම් කෙළිමින් එහෙත් අපට කෙළින්න. මේ කෙළීම හා සම්බන්ධ කතාව අද තරුණයන් අතර ව්‍යවහාරයෙහි යෙදෙන්නේ ගේමක් දෙනවා ලෙස. ගේමක් කියන්නේත් සෙල්ලමක් ක්‍රීඩාවක් කෙළියක් තමයි.

ඉන්දීය බලධාරීන් ලංකාවට එන්නේ අපට ගේම දෙන්න නැත්නම් කෙළින්න. ඒත් අපේ බලධාරීන් ඒ අයුරින් ඉන්දියාවට යන්නේ නැහැ. වඩා පැහැදිලිව කිවුවොත් දිල්ලි යන්නෙ නැහැ. ඔවුන් තිරුපති නම් යනවා. ඒ ඉන්දිය දෙවිවරුන්ගේ නියෝජිතයන් හමු වෙන්න. මෙරට පඬි නැට්ටන්ට එය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ට ප්‍රශ්නය නාථ දෙවියන්ගේ සම්බන්ධිකාරකයන් හමු වීම. ඒ නාථ දෙවියන්ට වාහනයක් නැති නිසා වන්න බැහැ. සමන් දෙවියන්ටත් වාහනයක් නැහැ. අර සමන් දෙවියන් ළඟින් ඉන්න සුදු ඇතා වාහනය නො වෙයි.

ඉන්දීයයන් කොළඹ ඒමත් අපේ අය දිල්ලි නොයෑමත් තමයි පඬි නැට්ටන්ගේ බටහිර ස්වාමිවරුන් කියන භූදේශපාලන යථාර්ථය. ඒ කියන්නේ බලවතා හා දුර්වලයා අතර ඇති සම්බන්ධය සමමිතික නො වීම. ඔවුන් එනවා අප නොයනවා. අපි යන එන මිනිස්සු. ඒ තමයි අපේ සංස්කෘතිය. ලෝකය පවතිනවා එමෙන් ම නොපවතිනවා. ඒ බුදු හාමුදුරුවන්ගෙ දේශනාව. ඒක බමුණන්ට තේරෙන්නෙ නැහැ. ඒත් යන එන අපට තේරෙනවා. අප එන්නන් කියලා යනවා.

ඉන්දියාව අපට පෙම් කරන බව අප දන්නවා. කොහොමටත් විජයගේ සිට කී දෙනකු ඉන්දියාවෙන් (භාරතයෙන් හරි දඹදිවින් හරි) පැමිණ කුවේණියගෙන් පටන් ගෙන මෙරට තරුණියන්ට පෙම් කළා ද? ඔවුන්ගේ ප්‍රේමය භයානකයි. ඔවුන් පෙම් කර මෙරට රජ වුණා. අඩු තරමෙන් ඔවුන්ගේ මුණුබුරන් මෙරට රජ වුණා. ධාතුසේන රජුගේ පියා ඉන්දියාවෙන් පැමිණි මෞර්ය වාංශිකයෙක්. ඔහු මෙහි පැමිණ (ගෙනාවා ද දන්නෙත් නැහැ) සිංහල කුමරියක් විවාහ කර ගත්තා. ධාතුසේන රජු මෞරය පෙළපත ආරම්භ කෙළේ එහි ප්‍රතිඵලයක් ලෙස. පළමුවැනි පරාක්‍රමබාහුත් හයවැනි පරාක්‍රමබාහුත් එලෙස රජ වූ අය. තවත් අය ඉන්නවා.

මෙය පසුව වෙනස් වුණා. මෙරට රජවරු ඉන්දියාවෙන් කුමරියන් ගෙන්වා ගත්තා. නුවර යුගයේ මෙය දරුණු තත්වයකට පැමිණියා. කුමරියන් සමග ඔවුන්ගේ නෑදෑයන් ද පැමිණියා. මහනුවර රාජ්‍යය සිංහලයන්ට අහිමි වන තැනකට සේන්දු වෙමින් තිබුණා. ඇහැළෙපොළලා එය අමාරුවෙන් වළක්වා ගත්තා. එහෙත් අප රට ම 1815 දී ඉංගිරිසින්ට යට වුණා. එය යටත් වීමක් නො වෙයි.

ඉංගිරිසින් එයට පෙර මෙරට මුහුදුබඩ පෙදෙස් පාලනය කළා. මුල දී (1796-1802) ඒ පෙදෙස් මදුරාසි ප්‍රාන්තයේ කොටසක් ලෙසයි පාලනය වුණේ. මුහුදුබඩ පෙදෙස් එංගලන්තයේ යටත්විජිතයක් වූයේ 1802 දී නෝර්ත් ආණ්ඩුකාරයා යටතේ. යම් හෙයකින් එය එසේ නොවුණා නම් 1815න් පසු මුළු රට ම මදුරාසි ප්‍රාන්තයේ කොටසක් වෙන්න තිබුණා. එසේ වුණා නම් 1947 දී අප ඉන්දියාවේ කොටසක් ලෙසයි නිදහස ලබන්නේ. එහෙම නොවූ නිසයි අද ඉන්දීය බලධාරීන් මෙරටට කෙළීමට පෙම් කෙළිමින් එන්නේ.

මේ අතරට චීන ප්‍රශ්නයත් ඇවිත්. ඒත් පසුගිය කාලයේ චීනය දේශපාලනික ව පසු බැහැලා. ඉන්දියාවට දැන් වඩාත් අවශ්‍යයි අප තම ප්‍රාන්තයක් කර ගන්න. බැරි නම් ඔවුන්ගේ අණසක යටතේ තබා ගන්න. මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය කියනවා ලංකාව තමන්ගේ අංක එක බව. අප ඒ බව දන්නවා. අපි ජෙනරාල් මනෝජ්ට (ඔහු ඊනියා ඉන්දීය සාම සාධක හමුදාවේ සිටි අයෙක්) කියමු අප අංක දහයට පමණ දාන්න කියා.

මා නැවතත් අවධාරණය කරනවා මැණිකේ මගේ හිතේ ගීතයට ඉන්දියාව සැලසුම් සහගත ව ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ, ජනප්‍රිය කරවන්නේ ලංකා මැණිකේ හිතේ තබා ගෙන කියා. ඉන්දියාව දන්නවා සිංහලයන්ට ඉන්දීය විරෝධයක් තියෙනවා කියා. ඒ විරෝධය සමනය කිරීමට මැණිකේ හිතේ තබා ගෙන අදාළ ගීතය ජනප්‍රිය කරවලා. එසේ කරන්නේ ගීතය ලංකවේ ජනප්‍රිය නොවී තිබිය දී. කලකට පෙර මාළු මාළු මේ දැන් ගෙනාපු මාළු සුරංගනීට මාළු ගෙනාවා ගීතය නම් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල ජනප්‍රිය වුණා. එය ජනප්‍රිය කෙරුණු ගීීයක් නො වෙයි. එය විවිධ ඉන්දීය භාෂාවලට පරිවර්තනය කෙරුණා. ඒත් ඒ ලංකාවේ ජනප්‍රිය ව තිබූ ගීතයක්. මැණිකේ එහෙම නො වෙයි.

ඉන්දියාව අපට ස්වෛරී රාජ්‍යයක් ලෙස සැලකිය යුතුයි. අප කටයුතු කරන්නේ මෙරට ජනමතයට අනුව මිස තමිල්නාඩු ජනමතයට අනුව නො වෙයි. ඉන්දියාව තමිල්නාඩුව සමග ඇති ප්‍රශ්නය ලංකාවේ දී නොව ඉන්දියාවේ දී විසඳා ගන්න ඕන. අපි ජෙනරල් මනෝජ්ට හා රෝ සංවිධානයට කියනවා අපට විජයගේ සිට හයවැනි පරාක්‍රමබාහු දක්වා මැණිකෙලාගේ ඉතිහාසයක් තියෙන බව. ඉන්දියාව ඒ ගීතය සැලසුම් සහගත ව ජනප්‍රිය කරවන්නේ සිංහලයන්ගේ ඉන්දීය විරෝධය සමනය කර ත්‍රිකුණාමල තෙල් ටැංකි ලබා ගැනීමට, දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරවීමට හා තව තවත් දේට. මැණිකේ කාගේ හිතේ තිබුණත් ඉන්දියාවට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වීමක් සිංහලයන්ගේ හිතේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 1 =