අත්‍යවශ්‍ය ඖෂධ 32ක් නැහැ ඉදිරි සතිය වනවිට තත්ත්වය තවත් භයානකයි

0
141
- Advertisement -

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 32ක් මේ වනවිට දැඩි හිඟයකට මුහුණ පා ඇත. එළඹෙන සතිය වනවිට මෙම තත්ත්වය තව තවත් උග‍්‍ර තලයකට පත්වීම නොවැළැක්විය හැක්කකි.

ලංකාවේ ඖෂධ සංග‍්‍රහයේ ඖෂධ වර්ග 753ක් තිබේ. ඒ අතරින් 160ක් අත්‍යවශ්‍ය ඖෂධ වශයෙන් නම්කර ඇත. අද වනවිට හිඟයකට ලක් වී ඇත්තේ මෙම අත්‍යවශ්‍ය ලේඛනයට අයත් ඖෂධ වර්ග වේ.

ඒ නිසා ඉදිරි සතිය වනවිට වඩාත් බරපතල ආකාරයට මෙම තත්ත්වය සාමාන්‍ය ජන සමාජයට දැනෙනු ඇත. මේ බව සවිස්තරාත්මකව පැහැදිලි කරන ලද්දේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වන දොස්තර රාජිත සේනාරත්න මහතා විසිනි.

ඔහු ඒ බව ප‍්‍රකාශ කළේ ඇතුල්කෝට්ටේ සමග ජනබලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදි රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඖෂධ හිඟයක් නොමැති බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පැවසුවත් එය අසත්‍යයක් බවයි.

එයට හේතුව වන්නේ ඖෂධ හිඟයක් පවතින්නේද යන්න සොයා බැලීම ඔවුනගේ විෂය පථයට අයත් නොවන නිසාය. රෝහල්වල ඇති ඖෂධ තොග පිළිබඳ කිසිදු අදහසක් ඖෂධ සංස්ථාවට නොමැත. ඔවුන්ගේ කාර්ය භාරය වන්නේ සෞඛ්‍ය අංශ විසින් තමුන්ට අවශ්‍ය ඖෂධ ඇණවුම් ඔවුන්ට ලබාදුන් විට ඒවා සැපයීමයි.

මෙහිදි සේනාරත්න මහතා පැවසුවේ පසුගිය කාලයේදීත් තමුන් විසින් මෙම ඖෂධ හිඟය පිළිබඳ අනාවරණය කළ බවයි. එහිදී ඔහු විසින් පෙන්වා දුන්නේ ඖෂධ වර්ග 52ක ප‍්‍රමාණයකි. නමුත් මෙවර ඔහු පෙන්වා දෙන ඖෂධ වර්ග 32කක ප‍්‍රමාණය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වීමෙන් පවතින බරපතල තත්ත්වය උග‍්‍ර වන ආකාරය වටහා ගත යුතු වෙයි.

නිදසුනක් වශයෙන් සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ සර්පයෙක් දෂ්ඨ කළහොත් ලබාදිය යුතු ඖෂධ මේ වනවිට රෝහල්වල නොමැති බවයි. අතීතටේදී මෙරට සිදුවන හදිසි අනතුරු වලින් 20%ක්ම සිදුවන්නේ සර්පයන් දෂ්ඨ කිරීම මගිනි.

නමුත් පසුගිය කාලය වනවිට එය 2% දක්ව පහත වැටී තිබිණි. එහෙත් අද වනවිට එම තත්ත්වය යළික් ක‍්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව සේනාරත්න මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

ඔහු පවසන ආකාරයට හෘද රෝග සඳහා ලබාදෙන ඖෂධ වර්ග 5ක්, ස්නායු රෝග 3ක් සඳහා අවශ්‍ය ඖෂධ හා දියවැඩියා රෝගයට අවශ්‍ය ඇතැම් ඖෂධ මේ වනවිට ලබාගත නොහැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + 10 =